ගීතවල ඇති චිත්තවේගීය අනුනාදනය (Emotional Resonance ) හා හැඟීම් ප්‍රකාශ කිරීමේ බලය නිසා ඒවා පෞද්ගලිකව තනි තනිව මානසික සම්බන්ධතා සාදා ගැනීමට සහාය වේ.
අනෙක් අතට ගීතවලින් මතකය හා නොස්ටැල්ජියාව (Memory and Nostalgia) ගොඩනැගීමේ අපූරු බලයක්ද තිබේ. ඇතැම් ගීත නිශ්චිත කාල මතකයන් හා බැඳී පවතින අතර ඒ ගීත ශ්‍රවණය කිරීමෙන් ඒ කාලවකවානුව කරා අපව යළි ගෙන යා හැකිය.
"ක්ලැරන්ස් Rhythm of the guitar" චිත්‍රපටයටයේ රූප රාමුවක්
තේජා ඉද්දමල්ගොඩගේ "ක්ලැරන්ස් Rhythm of the guitar" චිත්‍රපටයට අප ආකර්ෂණය වන්නේ ඒ නිසා යැයි සිතේ. විශේෂයෙන් 60 දශකයේ අගභාගයේ දී සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන ක්ලැරන්ස් කණ්ඩායම් සංගීතයේ හැරැවුම් ලක්ෂයක් සනිටුහන් කලේ Pop සහ Soft rock සංගීත ආර තුල කිසියම් දේශීයත්වයක් ඇතිකිරීමට සමත්වීමෙනි. ඒ නිසාම ඔහු නායකත්වය දැරූ මූන්ස්ටෝන්, ගෝල්ඩන් චයිම්ස් හා සුපර් ගෝල්ඩන් චයිම්ස් යන සංගීත කණ්ඩායම් 80 දශකය වෙනතුරුම අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඒ ගැයූ ගීත රසිකයන්ගේ මතකයේ ගැඹුරු ලෙස තැන්පත් වූයේ එහි ඇති මෘදු බව නිසාය. සරල භාෂා භාවිතය නිසාය. ගිතාරු සංගීතය නිසාය.
තේජා, ක්ලැරන්ස් සිංහල සංගීත ක්ෂේත්‍රය ට සිදුකල කාර්ය කතා කරනු වෙනුවට සිය චිත්‍රපටය ස්ථානගත කරන්නේ මේ කාරනය ප්‍රමුඛ කරගෙනය. ඊට අමතරව එහි යටිපෙළින් ක්ලැරන්ස් - ශීලා ප්‍රේම කතාව ද රැගෙන යයි. ඒ ප්‍රේම කතාවද ඔහු රැගෙන යන්නේ ක්ලැරන්ස් ගේ ගීත මතිනි. එහි ගාමක බලය වන්නේ ක්ලැරන්ස් ගේ ගීත බව ඔහු හොඳින් දනී. එය චිත්‍රපටයේ Unique selling point එකය.
ක්ලැරන්ස් ගේ ගීත මෙන්ම චිත්‍රපටය ද සෞම්‍ය ය. නොස්ටැල්ජියානු මතක දල්වයි. එහිදී ක්ලැරන්ස් ගේ ගීත ප්‍රති නිෂ්පාදනය කිරීමේ දී සුරේෂ් මාළියද්ද දක්වා ඇති සුරුවිරුකම කැපී පෙනෙයි. චිත්‍රපටයේ රූ සොබා ගොඩ නැගීමේ දී රුවන් කොස්තාගේ කැමරාකරණය සිදුකරන කලාත්මක කාර්යභාරය විශිෂ්ට ය.

රඟපැමේ හා දෙබස් කථනයේ ආධුනික බව යටපත් කරන්නට එහි අඩංගු ක්ලැන්ස් ගේ ගීත හා රුවන් ගේ කැමරාව ප්‍රබල වී තිබේ.
සංගීත ශානරයේ චිත්‍රපටයක් ලෙස එය ශ්‍රී ලාංකික සිනමාවේ යම් සටහනක් තබනවා නම් තබන්නේ ඒ කරුණ නිසාය.
සටහන - කපිල එම්. ගමගේ
(Kapila.M.Gamage ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)
















