-Nuwan Ishara Mahagamage-
මෝනාලිසා චිත්‍රය හොරකම් කරන වැඩේට තුන් දෙනෙක් හවුල් උනා. ඒ 1911 නිකිණි මාසෙ දවසක්. මේක තමයි සියවසේ ලොකු ම කලාකෘති හොරකමේ කතාව.
ඉඳිකට්ටක් බිම වැටුනත් ඇහෙන තරම් කෞතුකාගාරය නිස්සද්ද යි. ලූවර් කෞතුකාගාරෙ ගබඩා කාමරයක ඉඳන් තමයි තුන්දෙනා එලියට ආවෙ. අඩි සද්දයක්වත් ඇහෙන්නැති වෙන්න. මේ 1911 අගෝස්තු 21 වැනිදා පාන්දර යාමය. මුලු පැරිසිය ම ගොරව ගොරවා නිදි. කෞතුකාගාරෙ තිබුනෙ වහලා. තුන්දෙනා ඇඳගෙන හිටියෙ කෞතුකාගාර සේවකයින්ගෙ ඇඳුම්.
මේ තුන්දෙනා අතර හිටියා ලූවර් කෞතුකාගාරෙ හතරකොන ම හොඳට දන්නා හාදයෙක්. ඒ තමයි ‘වින්චෙන්සෝ පෙරූජා‘. එයා ඉස්සර මේ කෞතුකාගාරෙ සේවකයෙක්. ඉතාලිකාරයෙක්. හොඳම වැඩේ කියන්නෙ මෝනාලිසා චිත්‍රය ෆ්‍රේම් කරලා වීදුරුවක් දැම්මෙත් පෙරූජා ඇතුලු සේවකයො පිරිසක්. තව ඉතාලිකාරයො දෙන්නෙක් එක්ක පෙරූජා ප්‍රදර්ශන ශාලාවට ඇතුලු උනා. පුනරුද යුගයේ කලාකෘතිවලින් බිත්ති සරසලා තිබුනා. ඒ අතරමැද තමයි හිටියෙ ලියනාඩෝ ඩාවින්චිගෙ මුකුලු කෙල්ල, මෝනාලිසා.
තුන්දෙනා හෙමින් සීරුවේ මෝනාලිසාව යකඩ ක්ලිප්වලින් ගැලෙව්වා. මේක සෑහෙන බර චිත්‍රයක්. රාමුව විතරක් කිලෝ ගානක්. සම්පූර්ණ චිත්‍රය කිලෝග්‍රෑම් 90ක් විතර බරයි. හාල් මුට්ට දෙකක් ඉස්සුවා වගේ තමයි. කට්ටිය මේක උස්සගෙන පරිස්සමින් පඩිපෙලකුත් බැස්සා. හොඳ අඳුරු මුල්ලක් බලලා චිත්‍රෙ ෆ්‍රේම් එකයි වීදුරු ආවරණෙයි ගැලෙව්වා. ඒ ටික ගබඩාවෙ කොටසක හැංඟුවා. පෙරූජා එයාගෙ ඇඳුමකින් චිත්‍රෙ වැහුවා. ඊට පස්සෙ මාස්ටර්පීස් එක කිහිල්ලට තද කරගත්තා. කඩේ ගිහින් පත්තරේ ගේනවා වගේ බයක් නැතිව කලුවරේ ම කොරිඩෝව දිගේ ඇවිද්දා.
මාර වැඩේ. පිටවෙන දොර වහලා. පෙරූජා ළඟ තිබුනු යතුරෙන් දොර ඇරගන්න බෑ. තුන්දෙනා ගල්ගැහිලා දොර දිහා බලා හිටියා. චිත්‍රෙත් තියාගෙන. ඈතින් කලුවරේ ම ඇහුනා අඩි සද්දයක්. වැඩේ අහුවෙන්නයි යන්නෙ. කට්ටිය කිටි කිටියෙ ගැහුනා. කෞතුකාගාරෙ කම්කරුවෙක් කොරිඩෝව දිගේ ඇවිදගෙන ආවා. එයා හිතුවෙ මේ තුන්දෙනාත් කෞතුකාගාර කම්කරුවො කියලා. ඇයි එකම ඇඳුම්නෙ ඇඳගෙන හිටියෙ. එයා දොර ඇරියා. හතරදෙනා ම එතනින් පිටවුනා. පෙරූජා ඇතුලු හොරු තුන්දෙනාත් මහත්වරු වගේ ඩීසන් පිට මෝනාලිසාවත් කිහිල්ලෙ ගහගෙන පැරිස් නගරය ඇතුලෙ වාෂ්ප උනා.
1911 මොනාලිසා චිත්‍රය සොරකම් කිරීමට සම්බන්ධ වූ ‘වින්චෙන්සෝ පෙරූජා‘ ගේ ඡායාරූපයක්
පැය 26ක් යනකන් කිසි කෙනෙක් කිසි දෙයක් දැනගත්තෙ නෑ. ඒකටත් හේතුවක් තිබුනා. මේ හොරකමට කලින් මෝනාලිසා කියන්නෙ අද තරම් ම අවධානයක් දිනාගත් චිත්‍රයක් නෙවෙයි. හැබැයි ඒක තමයි ඒ වෙද්දිත් ලූවර්වල තිබුනු වටිනා ම භාණ්ඩය. චිත්‍රයක් අඩු උනාට කොහොමත් සේවකයො කලබල වෙන්නෑ. මොකද මේවා නිතර ම ගලවලා උඩ තට්ටුවට ගෙනිහින් ඡායාරූපගත කරනවා. වරු කීපයකට පස්සෙ එක චිත්‍ර ශිල්පියෙක් ලූවර්වලට ඇවිත් තමන්ට මෝනාලිසා පිටපත් කරන්න උවමනා බව කිව්වා. එතකොට තමයි කට්ටිය දැනගත්තෙ පිටපත් කරගන්න මෝනාලිසා නැති බව.
හොරකම ගැන රට ම දැනගත්තා. පැරිස් නුවර ම කැළඹුනා. ලූවර් වැහුවා. පොලිස් නිලධාරීන් 60කගෙන් යුතු විශේෂ ටීම් එකකින් ලූවර් කෞතුකාගාරෙ අඟලක් පාසා පරීක්ෂා කෙරුවා. පැරිස් නුවර බෝඩර් වැහුවා. මුහුදු මාර්ගය වෙන ම පරීක්ෂා කෙරුවා. ලෝකය පුරා ම පත්තරවල මුල් පිටුවෙ මුද්‍රණය උනේ හිනාවීගෙන ඉන්න මෝනාලිසාගෙ රූපෙ. කොයි පැත්ත හැරෙව්වත් තමන් එක්කම හිනාවෙන මේ සුන්දරිය දිහා බල බල රට්ටු විස්සෝප උනා.
හොඳ ම එක ඒක නෙවෙයි. දන්නවද මුලින් ම සැක කෙරුවෙ කාවද කියලා? පැබ්ලෝ පිකාසෝව. තැන තැන කසුකුසු පැතිරුනා. පිකාසෝ විතරක් නෙවෙයි ඒ වෙද්දි යුරෝපයේ හිටපු චිත්‍ර ශිල්පීන්, චිත්‍ර කලෙක්ටර්ස්ලා සහ කවියො කිහිප දෙනෙක් ගැන කටකතා පැතිරුනා. ඒ අස්සෙ දහස් ගානක් පෝලිම් ගැහිලා ආවා ලූවර් බලන්න. ඒ ඇවිත් මෝනාලිසා එල්ලිලා හිටපු හිස් බිත්තිය දිහා බලන් හිටියා.
ඔය ඔක්කොම සිද්ධ වන අතරේ මෝනාලිසා හිටියෙ පැරිස් නුවර තිබුනු පෙරූජාගෙ පුංචි ගෙදර. ට්‍රන්ක පෙට්ටියක් ඇතුලෙ. මෝනාලිසාට අවුරුදු දෙකක් මේ ට්‍රන්ක පෙට්ටියට වෙලා හුස්ම අල්ලන් ඉන්න උනා. හොරකම අහු උනේ නෑ. හොරකමට කලින් පැරිස්වල මිනිස්සු දැනන් හිටියා මෝනාලිසා කියලා චිත්‍රයක් තියෙන බව. ගොඩක් ගැනුම්කරුවො මේක ගන්නවත් කැමතිවෙලා තිබුනෙ නෑ.
හොරකම හින්දා ලෝකෙ වටිනා ම චිත්‍රවලින් එකක් බවට මෝනාලිසා පත්වුනා. ලෝකෙ ම මේ ගැන කතාවුනා. දැන් දුන්නොත් දැන් ගන්නා බවයි ගැනුම්කරුවො කිව්වෙ. ඕනෑම මිලක් ඒ වෙනුවෙන් ගෙවන්න කට්ටිය ඉදිරිපත් උනා.
1913 වසරේ උඳුවප් මාසෙත් එලැඹුනා. හොරකමට අවුරුදු දෙකහමාරකට කිට්ටුයි. දවසින් දවස මෝනාලිසා ගණන් ඉස්සුවා. පෙරූජා තීරණය කෙරුවා මෝනාලිසා විකුණන්න. එයා ඉතාලියෙ හිටපු ප්‍රසිද්ධ චිත්‍ර ව්‍යාපාරිකයෙක් වූ ඇල්ෆ්‍රෙඩෝට මේක විකුණන්න ගෙනිච්චා. මෝනාලිසා නමින් නෙවෙයි. වෙනත් නමකින්. මේ චිත්‍රය අයිති ඉතාලියට හින්දා ඒක ඉතාලියට ම දෙන්න ගෙන ආ බවයි එයා කිව්වෙ. හැබැයි චිත්‍රෙ දැක්ක ගමන් ව්‍යාපාරිකයා මේක අඳුනාගත්තා.
ව්‍යාපාරිකයා ඩීල් එකට වෙලාවක් යොදාගෙන පෙරූජාව පිටත් කෙරුවා. පෙරූජා ඉතාලියේ නවාතැන් ගත්තු හෝටලයට ගියා. ව්‍යාපාරිකයා පොලිසිට දැනුම් දුන්නා. පොලිසිය හෝටලයට ආවා. පෙරූජාව අත් අඩංගුවට ගත්තා. මෝනාලිසා හිටියෙ පෙරූජාගෙ ඇඳ යට.
1914 දි මෝනාලිසා චිත්‍රය නැවතත් ලූවර් කෞතුකාගාරෙට බාර දුන් අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක්
ඉතාලි මිනිස්සු පෙරූජාව ආදරෙන් වැළඳගත්තා. ඉතාලියට අයිති දේ ඉතාලියට ගෙනාපු සතුටට. පෙරූජාට හිමි උනේ කෙටි හිර දඩුවමක් විතරයි. 1914 ජනවාරි මාසෙදි මෝනාලිසාව ආයෙත් පැරිස් නුවරට ගෙනිච්චා.
හොරකමට කලින් එක එක චිත්‍ර විචාරකයින් අවුරුදු ගානක් මෝනාලිසා ගැන රට පැටලෙන විචාර ලිව්වා. ඒ එකකටවත් කරන්න බැරි වූ දේ එක හොරකමකින් කරන්න පෙරූජාට පුලුවන් උනා. ඒ තමයි මෝනාලිසා අමරණීය කිරීම. අමිල කිරීම.
(ඡායාරූපය: වර්තමානයේ වෙඩි නොවදින වීදුරුවකින් ආවරණය කොට ලූවර් කෞතුකාගාරයේ තබා ඇති මෝනාලිසා චිත්‍රය.
මේ පුනරුද චිත්‍රය, ලෝකෙ ප්‍රසිද්ධ ම කලා කෘතිය බවට එක රැයකින් පත්වුනේ ඔහොමයි. පෙරූජා කියන්නෙත් චිත්‍රපටයක් වගේ ජීවිත කතාවක් තියෙන මිනිහෙක්. එයා ගැන මම ඊළඟ සතියෙ දවසක ලියන්නම්.

සටහන - නුවන් ඉෂාර මහගමගේ
මෙම සටහන 'Nuwan Ishara Mahagamage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.
















