lan englan tam

“සල්ලි චිත්‍රපට හදන්නෙ නෑ” - Werner Herzog

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
'සල්ලි චිත්රපට හදන්නෙ නෑ' (Money doesn't make films),
 

මෙහෙම කියල තියෙන්නෙ දැන් පැවැත්වෙන 82 වැනි වෙනීස් අන්තර්ජාතික සිනමා උළෙලේ ජීවිතයේ එක් වරක් පමණක් සිනමාකරුවෙකුට ලැබෙන ලොව ප්‍රධානතම සහ විශිෂ්ඨතම සිනමා සම්මාන අතලොස්සෙන් එකක් වන වෙනිස් රන් සිංහ සම්මානයෙන් පිදුම් ලැබූ ජර්මන් සිනමාකරු වර්නර් හර්සොග් (Werner Herzog)

පළමුකොට මේ සම්මානය ලැබීම වෙනුවෙන් ඔහුට හිස නමා ප්‍රණාමය දක්වනවා, මක්නිසාදයත් මට අනුව නම් අපි සිනමාව කියලා මහ ලොකුවට මෙතෙක් හිතාගෙන හිටපු දේ කොච්චර පුංචිද කියලා මට වැටහුනේ හර්සොග්ගෙ සිනමා කෘති කියවා ගත්තට පස්සෙ නිසා.

 

82 වැනි වෙනීස් අන්තර්ජාතික සිනමා උළෙලේ සමාරම්භක උත්සවයේදී වර්නර් හර්සොග් හට ජීවිතයේ එක් වරක් පමනක් හිමිවන වෙනිස් රන් සිංහ (Golden Lion) සම්මානය ලැබූ අවස්ථාවේ ඡායාරූපයක්. (August 27 2025)

 

 වර්නර් හර්සොග්, විම් වෙන්ඩර්ස්,  ෆෙසිබින්ඩර් ප්‍රමුඛ නව ජර්මන් සිනමාව පිළිබද ගැඹුරු අධ්‍යනයකින් තොරව කිසියම් සිනමාකරුවෙක් සිනමාවට පිවිසෙනවනම් ඔහු ගමන් කරන්නෙ අහස නොපෙනෙන පුංචි බිම් ගෙයක් දිගේ කියලා කියලා මට නම් හිතෙනවා. මොකද හර්සොග්ගේ සිනමා කෘති කියන්නේ, සිනමා චින්තනය පිළිබදව අපි මේ රටේ හිතන පරිමාවට වඩා විවෘත පුලුල් නව අවකාශයකට අප රැගෙන යාම සදහා අපේ ඔලුවලට එල්ල කරන දරුනු පොලු පහරක්. ඒ කම්පනය සහකම්පනය ඇති ඕනෑම සිනමා කරුවෙක්ගේ මොලය සොලවනවා. සිනමාව පිළිබදව මෙතෙක් අප තුල පැවති පුංචි පුංචි සාම්ප්‍රදායික හීන වීදුරු භාජනයක් පොළවේ ගැහැව්වා වගේ සුනු විසුනු කරලා දාලා අලුතෙන් වෙනස් මානයකින් හිතන්න අපව පොළඹවනවා.

'Herzog is Herzog' ජාත්‍යන්තර සිනමා විචාරකයෝ ඔහු ගැන එහෙම කියනවා. හර්සොග් සිනමා කරුවෙක් ලෙස තර්කොව්ස්කි වගේම තවත් සිනමා කරුවෙක් සමග සන්සන්දනය කළ නොහැකි දැඩි අනන්‍යතාවයක් සහිත සිනමා කරුවෙක්.

'Burden of dreams' හර්සොග් ගැන කරපු සුප්‍රසිද්ධ වාර්තා චිත්‍රපටයක නම. ඒක හර්සොග්ගෙ සමස්ථ සිනමාව සංකේතවත් කරන අපූරු නමක්. ඔව් හර්සොග් තමන්ගේ ජීවිත කාලය පුරාම තමන්ගේ බර සිනමා සිහින වල බර දරාගෙන හිටපු සිනමාකරුවෙක් .ඔහුගේ චිත්‍රපට වල අපට දැනෙන සිනමාවේ මින් පෙර අප දැක නැති ඒ අපූර්වත්වය ගැන හර්සොග් මෙහෙම කියනවා.

 මගේ චිත්‍රපට වල තියෙන්නෙ අපි දකින සිහිනයක තියෙන ස්වභාවය. මගේ චිත්‍රපට මං තුලට එන්නෙ සිහින වගේ ඒවගේම තාර්කික රටාවකින් තොරව ,ශාස්ත්‍රීය විග්‍රහයකින් තොරව.

 

 

1982 හර්සොග් නිර්මාණය කරපු 'Fitzcarraldo' (ෆිට්ස්කැරල්ඩො) ඔහුගේ සිනමා ශෛලිය පිළිබද විශිෂ්ඨ උදාහරණයක්. එවර කාන් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොදම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය සහ තවත් සම්මාන රැසක් මේ වෙනුවෙන් ඔහු දිනා ගන්නවා.

 

Fitz3 1440x960

 

මේ චිත්‍රපටය ආරම්භයේ ඇමේසන් වනාන්තරයේ මිහිදුම පිරුනු කැලෑවේ දර්ශනයක් පසුබිමේ මෙවන් පාඨයක් තිරයේ දිස් වෙනවා.

' ඔවුන් විශ්වාසකරනවා මිනිසුන් ඉවත්ව ගිය පසු දෙවියන් තමන්ගේ කාර්‍ය සම්පූර්ණ කිරීමට පැමිණෙන බව. '

ඒ කියන්නේ දෙවියන් තමන්ගේ කාර්‍ය තවම සම්පුර්ණ කර නැද්ද.ඒ නිසාද ලෝකය තවම අසම්පූර්ණ ? එහෙත් ඒ සදහා මිනිසුන් ලෝකයෙන් ඉවත් විය යුතුයි.

හර්සොග් එයද අපෙන් ප්‍රශ්ණ කරන්නේ.

මේ චිත්‍රපටයේ ඇමේසන් ගගේ සිට වනාන්තරය මැද කන්දක් මතින් කන්දේ අනික් පසට ටොන් 320 ක් පමණ බර වාෂ්ප නැවක් අදිනවා.එය ලී කොටන් යොදා නවීන තාක්ෂණයෙන් තොරව ච්ත්‍රපටයේ රගන පේරු රටේ අතිරේක ගෝත්‍රික පන්නයේ නලු නිලියන් සමග සැබෑවටම අදිනවා.එය ඉතා අනතුරුදායක කටයුත්තක්.එමෙන්ම ක්ලවුස් කින්ස්කි නම් විශිෂ්ඨ ජර්මන් රංග ධරයා මේ ච්ත්‍රපටයේ ප්‍රධාන චරිතය රූපණය කරනවා.ඔහු මානසික ආබාධයක් සහිත නලුවෙක්.මේ පීඩනය දරා ගත නොහැකිව වරක් ඔහු චිත්‍රපටය අතහැරදමා යන්නට තනනවා.

මේ විශිෂ්ඨ සිනමා කෘතිය නිරමාණයේදී හර්සොග් ඇතුලු චිත්‍රපට කණ්ඩායම මාස ගණනාවක් ඇමේසන් වනාන්තරය මැද දහසක් බාධා මැද ,විවිධ අතුරු අන්තරා මැද ඉතා දුෂ්කර දිවියක් ගත කලා.නමුත් ඒ කිසිවකින් මේ නිර්මාණකරුවා සැලුනේ නෑ. අවසානයේ ඔහු අප මින් පෙර දැක නැති අපූර්ව සිනමා කෘතියක් මේ සියලු පීඩන දරා ගනිමින් ලොවට බිහිකලා.

 

වර්නර් හර්සොග් අධ්‍යක්ෂණය කල 'Fitzcarraldo ' (ෆිට්ස්කැරල්ඩො) චිත්‍රපටයේ දර්ශනයක් ; චායාරූපයේ සිටින්නේ චිත්‍රපටයේ ප්‍රධාන නළු ක්ලවුස් කින්ස්කි (Klaus Kinski)

 

හර්සොග් ගේ සිනමාව නූතන ජර්මන් ප්‍රකාශනවාදයේ (Jerman expressionism ) ආකාරයක් ලෙස විචාරකයන් දකිනවා.ඔහු යතාර්ථවාදය ප්‍රතික්ශේප කරමින් ආත්මීය සහ චිත්තවේග සත්‍යයක් සිය නිර්මාණ වලින් ඉදිරිපත්කල ප්‍රබල සිනමාකරුවෙක් .හර්සොග්ට අනුව කතාවක සත්‍ය පමණක් නොව එය අවුස්සන විකාර සහගත හැගීම්ද වේ .ඔහුගේ බොහෝ නිර්මාණ වල පීඩාවට පත්වූ උමතු මනසක් ඇති චරිත තිබෙනවා.ඔහු තමයි මා දන්නා තරමින් ලෝකයේ එකම අධ්‍යක්ෂකවරයා තමන්ගේ සියලුම නලු නිලියන් ඇත්තටම මෝහණයට (Hypnotized) පත් කර චිත්‍රපටයක රගපෑමට යොදා ගත්. ඒ 'Heart of Glasses' නම් වීදුරු කර්මාන්තයේ යෙදෙන මිනිසුන් පිළිබදව තැනූ චිත්‍රපටයක.

සිනමාව ගැන මා අසා තිබෙන විශිෂ්ඨතම ප්‍රකාශයක් හර්සොග් සිදු කර තිබෙනවා .එනම්

" චිත්‍රපටයක් කරන හැටි (තාක්ෂණය) මට විනාඩි හතලිස් පහෙන් කියලා දෙන්න පුලුවන් .ඒත් සමහරවිට මුලු ජීවිත කාලෙම අපිට අල්ලගන්න බැරි වෙන දෙයක් සිනමාව තුල තියෙන්න පුලුවන්"

 

 

 

 

සටහන - තුසිත ද සිල්වා ( Thusitha De Silva)

( මෙම සටහන Thusitha De Silva ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

shungara

Back to top
Go to bottom