lan englan tam

සැබෑවක් වූ මන:කල්පිත මල්ගුඩිය!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

- Priyanjen Suresh De Silva-

සුප්‍රකට ඉන්දීය ලේඛක ආර්. කේ. නාරායන් 1943දී අපූරු කෙටිකතා සංග්‍රහයක් එළිදැක්වූවා. එහි නම ‘මල්ගුඩි ඬේස්’.

 

R.K. Narayan

 

ඉංග්‍රීසි බසින් රචිත එම කෙටිකතා සංග්‍රහයට කතා 32ක් ඇතුළත් වුණා. මේ සියලු කතාවලට පාදක වූයේ නාරායන් මැවූ මනඃකල්පිත මල්ගුඩි නම් ගම්මානයේ එදිනෙදා සිදුවීම්.

1987දී මෙම කෙටිකතා ඇසුරින් ශංකර් නාග් නමැති කන්නඩ සිනමා සහ රූපවාහිනී අධ්‍යක්ෂවරයා ඉන්දියාවේ දූර්දර්ශන් රූපවාහිනියට අපූරු කතාමාලාවක් නිර්මාණය කළා. පසුකාලයේ එම කතාමාලාව සිංහල බසින් හඬ කවා ශ්‍රී ලංකාවේද විකාශය වූ අතර එය වඩාත් ජනප්‍රිය වන්නට එහි තේමා වාදනය ද බලපෑවා. එම තේමා වාදනය නිර්මාණය කළේ කර්ණාටක සංගීතඥයකු වූ එල් වෛද්‍යනාතන් විසින්.

ශංකර් නාග්, නාරායන්ගේ මනඃකල්පිත ගම්මානය ප්‍රතිනිර්මාණය කළේ කර්නාටක ප්‍රාන්තයේ ෂිමෝගා දිස්ත්‍රික්කයේ අගුම්බේ නමැති ගම්මානයේ. එහි ඇතැම් දර්ශන බැංගලුරු ප්‍රදේශයේ හා දේවරායනාදුර්ගා යන ප්‍රදේශවලත් රූගත කෙරුණා.

මල්ගුඩි දුම්රිය ස්ථානය ලෙස භාවිත කෙරුණේ කර්ණාටක ප්‍රාන්තයේ ෂිවමොග්ග - තලගුප්පා දුම්රිය මාර්ගයේ ෂිවමොග්ග නගරයට කිලෝමීටර 34ක් පමණ දුරින් පිහිටි අරසාලු දුම්රිය ස්ථානයයි. මල්ගුඩි දවස් කෘතිය කියවූ බොහෝ දෙනෙක් මල්ගුඩිය සැබෑ ගම්මානයක් යැයි සිතා එය සොයා පැමිණියා. එය මනඃකල්පිත ගම්මානයක් වුවද බොහෝ දෙනෙක් සිතුවේ එවැනි ගම්මානයක් ඉන්දියාවේ කොතැනක හෝ ඇති බවටයි.

 

'මල්ගුඩි දවස්' රූපවාහිනී කතා මාලාවේ දර්ශනයක් 

 

එහි අධ්‍යක්ෂවරයා වූ ශන්කර් නාග් එම චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයක් වූ වෙන්කතේෂ්ගේ චරිතයද රඟපෑවා. මෙම කතා මාලාව රූගත කෙරෙමින් තිබියදී 1990දී රිය අනතුරකින් ඔහු ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත් වුණා.

මල්ගුඩි දුම්රිය ස්ථානය ලෙස රූගත වූ අරසාලු දුම්රිය ස්ථානය දැක ගැනීමට විවිධ අවස්ථාවල සංචාරකයන් එහි පැමිණියා. එහෙයින් මල්ගුඩි දවස් රූපවාහිනී නාට්‍ය මාලාව අධ්‍යක්ෂණය කල ශන්කර් නාග්හට උපහාරයක් ලෙසද සංචාරක ආකර්ශනයක් ලෙසද අරසාලු දුම්රිය ස්ථානය මල්ගුඩි දුම්රිය ස්ථානය ලෙස නම් කිරීමට ඉන්දීය දුම්රිය සේවය මේ වන විට පියවර ගෙන තිබෙනවා. එය ක්‍රියාවට නැංවෙන්නේ ෂිවමොග්ග ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වූ රඝවේන්ද්‍රගේ අදහසක් අනුවයි.

අරසාලු දුම්රිය ස්ථානය එතරම් ජනාකීර්ණ දුම්රිය ස්ථානයක් නොවයි. ඒ ඔස්සේ දිනකට ඉහළ පහළ ගමන් කරනුයේ දුම්රිය දෙකක් පමණයි. එහෙත් ශංකර් නාග් මැවූ මල්ගුඩි දුම්රිය ස්ථානය එය වීම හේතුවෙන් අද එම ස්ථානයට සුවිශේෂී අගයක් හිමි වී තිබෙනවා. ෂංකර් නාග් මෙම දුම්රිය ස්ථානය මල්ගුඩිය ලෙස තෝරා ගත්තේ එතරම් ජනාකීර්ණ නොවූ හෙයින් හා රූගත කිරීම්වලට බාධාවක් නොවූ හෙයිනුයි.

මෙම දුම්රිය ස්ථාන ගොඩනැඟිල්ල බොහෝ සෙයින් අබලන් වී ඇති හෙයින් මල්ගුඩිය ලෙස නම් කිරීමට පෙර ලක්ෂ 130ක පමණ පිරිවැයකින් එය ප්‍රතිසංස්කරණය කිරීමට කර්ණාටක ප්‍රාන්ත රජයේ අනුමැතිය ලැබුනා.

 

545141174 24658197433796513 8464169811698177110 nමල්ගුඩි දුම්රිය ස්ථානය ලෙසරූපවාහිනී නාටක මාලාවට යොදා ගත් අරසාලු දුම්රිය ස්ථානය 

 

544996577 24658197650463158 3567238916480721616 n මල්ගුඩි දුම්රිය ස්ථානය

 

hq720 5මල්ගුඩිය ලෙස නම් කළ නව අරසාලු දුම්රිය ස්ථානය සහ කෞතුකාගාරය 

 

ආර්. කේ. නාරායන් මල්ගුඩි දවස් කෘතියේ පෙරවදනේ මෙලෙස සටහන් කර තිබුණා. ”මල්ගුඩිය යනු මනඃකල්පිත නගරයකි. එය කිසි දිනක සිතියමක දැකිය නොහැකිය.” අරසාලු දුම්රිය ස්ථානය මල්ගුඩි දුම්රිය ස්ථානය බවට පරිවර්තනය වීමත් සමඟ නාරායන්ගේ එම වැකිය තවදුරටත් සැබෑවක් වන්නේ නැහැ.

 

488960261 9707605025948999 2159806480068721231 n 2

 

 

 

සටහන -  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

(මෙම සටහන 'Priyanjen Suresh De Silva' මුහුණු පොත ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

 

kemadasa

shungara

Back to top
Go to bottom