lan englan tam

වයින් කළ විට ඈ නටන්නී - රුවනි සිසිජා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

- චූලානන්ද සමරනායක -

කාන්තාව සහ බෝනික්කිය අතර ඇත්තේ සංසන්දනාත්මක සම්බන්ධයකි.

වෙළඳ ලෝකය තුල කාන්තා කලවය සහ ටයරය අතර ඇති සම්බන්ධය මෙනි. ඇය වෙළඳපලේ ලිංගික සංඥා මවමින් අලෙවි කරනු ලබන්නියකි. කාන්තාවගේ උතුම්කම ගැන නෙක වර්ණනා ලියවෙන සමාජයක වුව ඇයට හිමි ස්ථානයෙහි වෙනසක් නැත. ඇයට මිලක් ඇත. එලෙසම අවමන් අපහාස කන්දක්ද ඇය වෙනුවෙන්ම ගොඩගසා තිබේ. වර්තමානයේ බොහෝ කිවිඳියන් තම කාව්‍ය මැදිහත්වීම තුළ මේ විකාරරූපී සැලකුම් වලට එරෙහිව ලියනා වේගය ඉහල නංවා තිබීම දක්නට ලැබේත වඩ වඩා අපට කිවිඳියන්ගේ මැදිහත්වීම තුළ මේ තම අනන්‍යතාව වෙනුවෙන් කරනා මැදිහත්වීම දක්නට ලැබෙයි.

 

 

රුවනිගේ 'වයින් කල විට ඈ නටන්නී' නමින් වන කවිය මේ මැදිහත්වීමට සාක්ෂියකි. ඇගේ කවිය සෘජුවම බෝනික්කියක ගැනය. ඒ වයින් කල විට නටන බෝනික්කියකි. එහෙත් කවියෙහි යටි පෙලින් මතුවන්නේ බාහිර ලෝකයේ රුචි අරුචිකම් මත තම පැවැත්ම හැඩගසාගන්නට බල කෙරෙනා ස්ත්‍රී වර්ගයා පිලිබඳ කතන්දරයයි.

අණ කරන විට

ඈ නටන්නී

මා කියන තුරු

නොනවතින්නී

දෑත රිදෙතැයි

දෙපා වෙහෙසයි

කිසිත් මැසිවිලි

නොම නගන්නී

නිබඳ මා සිත

තුටු කරන්නී

තුටින් බව

නිතරම කියන්නී

ඇගේ කවිය සියුම් සංවේදනා දනවන්ට සමත් වදන් ගෙත්තමකි. අපේක්ෂාවන් පොදි බැඳ ජීවත්වන එහෙත් ඒ අපේක්ෂාවන් හුදු සිහින ලෙසම පවතින ජීවිතයක වේදනාව ඇය සිය කවියට විෂය කරගන්නී කදිම ආත්ම කථනයක්ට මග පාදමිනි. ආදරය නොඅඩුව පවතින, අවබෝධයෙන් පිරි, සතුට පිරිතිරී යන කුටුම්භයක සිහිනය- ඇගේ කවියෙහි ඒ සිහිනය නිරූපිතය.

ඉතා කුඩා කුටුම්භයක්

තනාගන්නට තිබුණා නම්

ඔබත් මමත් පමණක් ම සිටින

ඒ කුඩා කුටුමභය ඇගෙ සිතෙහි ඇත්තේ සොඳුරු කැදැල්ලක සිරියෙනි. එහෙත් ඇය ඒ සිහිනයෙන් අවදි වන්නී කටුක වූ වර්තමානයටය. ඒ හද රිදවනා සත්‍යයට මුහුණ දීමට සිදුවන මොහොතයි.

එහෙත් එක් වරම

සිහිවෙයි

ඔබ කියා කෙනෙක්

නැගි බව

බාගදා මට සැකයි

මා කියා කෙනෙක්ද ඇති වග

වාණිජකරණය සහ භෞතික සම්පත් පසුපස වන අනවරත ලුහුබැඳීම අප ජීවිතය දිනපතා දරුණු ඛෙදයක ඇද හෙලයි. ගෙවෙනා සෑම නිමේෂයකදීම අප මිනිස් සම්බන්ධතාවන්ගෙන් දුරස් වෙමින් යාන්ත්‍රික මෙවලම් බවට ස්වයංව පත් වෙමින් සිටිමු. ජීවිතය ඒ හුදෙකලා දූපත්ගත පැවැත්ම යයි සිතන්නට පෙළඹෙමු. එහෙත් අපට මිනිස් ඇසුරෙහි අසිරිය දැනෙනා මොහොතක් එළඹෙයි. ඒ එළඹුමත් සමගම අප පත්වනුවේ දරුණු ඉච්චා භංගත්වයකටය. අපේ කවියට මේ ඛේදජනක තත්වය වඩ වඩා විෂය වෙමින් පවතී.

මේ කවිය ඇය ඒ සත්‍යය තවත් අයුරකින් දකිනා මොහොතයි.

ආදර වන්දනාවේ

යනෙන බැතිමතුන්ට

මගහැරෙන හැටි පුදුමයි

හොඳ ම සුවඳැති

මල් පඳුරු

ඒ අපගේ දෛනික සත්‍යයම හැර අන් යමක් නොවේ. අප මතුපිටින් බලන කළ දකිනුයේ ආදරය ඉහවහා ගිය ලෝකයක්මය. එහි වදන්, ඇවතුම් පැවතුම් ආදී මේ සියල්ලෙන් සංඥා කෙරෙනුයේ මනරම් ආදරයක් පිලිබඳවය. පෙම පල දරනා මහරු උයනක් පිලිබඳවය. එහෙත් අප අත්දකිනා සත්‍යය ඊට වඩා බොහෝ සේ වෙනස් බව සිසිජා ඉඟි කරන්නීය.

සිසිජාගේ කවියෙහි ඇති අගය කල යුතු ලක්ෂණයක් වනුයේ ඇය නිපදවාගන්නා යෙදුම් හී ඇති ආකර්ෂණීය බවයි. විටෙක ඇය නිපදවාගන්නා යෙදුමක ඇත්තේ දැඩි උපහාසයකි. මිත්‍ර ජනයිකි මැයෙන් වන කවියෙහි ඇරඹුමම මෙවන් යෙදුමකින් පොහොසත්ය.

හදවත් මැන්ටල් වලට

හුළං ගසාගෙන

ඉක්මන් අඩි තබ තබා එන්න

ඔබේ අතිකාල සමය ඇවිදින්

හදවත් යනු තව දුරටත් ජීවයෙන් පිරී නෙපවතී. නිසි ලෙස වැඩ කරනා ලෙස පෙනුනද හදවත යන වදනෙහි ගම්‍ය අරුත දෙන්නට ඒ අසමත්ය. එහෙයින් පැට්‍රෝමැක්ස් වල මැන්ටල් දල්වන්නාක් මෙන් ඊටද හුළං ගසා දැල්විය යුතුය. ඇය මේ ව්‍යාජය මතු කරනා ආකාරය කදිමය.

හුදෙකලා කතකගේ සංතාපී මනස විදාරණය කරමින් ඇය විසින් රචිත තවමත් ඉවර නෑ යන කවියද අවධානයට ලක් කළ යුතු නිර්මාණයකි. එහිදීද ඇය රූපකාර්ථවත් බසකට ලංවෙමින් යුවතියකගේ ජීවිතයේ තනිකම සහ  නොපිරුණ බව ගෙත්තම් කරන්නට තැත් දරයි. ඇගේ කවිය ආදරය, අපේක්ෂාව, යථාර්තය මෙන්ම හුදෙකලාවේ අසීරුවද මනාව සටහන් කරන්නකි. ඇය කතියන්නේ ජීවිතය ගෙත්තමක් බවයි. එහෙත් එය තවමත් ඉවර නැත. ඒ මුළු ගෙත්තමම අත්හදාබැලීම් වැරදීම්, යළි යළි ඉඳිකටුව සමගින් කරනා අරගල මතින් දුවන්නකැයි ඇය කියයි.

ඔව් හුඟක් කල ගියා

ඉවර කරන්න

අවුරුදු තිසපහකට කිට්ටුයි

තවමත් ඉවර නෑ හරියටම

කතිර එකන් එක ගැනලා

අතින්මයි මැහුවෙ

හුඟක්ම අමාරු වුනේ

ගැලපෙන පාට තෝරන එක

සමහර පාටවල් හොයන්න

කකුල් ගෙවෙනකම් ඇවිද්දා

ඒත් සමහර තැන්වලට

ගැලපෙන පාට හම්බ වුනේම නෑ

අන්තිමේ ළඟින්ම යන පාටක් දාන්න වුනා

මේ අන්තිම පේලිය මතු කරනා අරුත බෙහෙවින් බැරෑරුම්ය. ජීවිතය යනු අප අපේක්ෂා කරනා වර්ණ සංකලනයකින් යුතුවන්නක් නොවේ. අප එහිලා කරනුයේ නෙක ගැලපීම්ය. ජීවිතයම ගලප්පාගන්නට කරනා අරගලයකි. අප කෙතරම් ඒ අරගලයෙහි නිමග්න වුවද අපට ලෙහෙසියෙන් ඒ ගැලපුමට ලංවන්නට හැකි නොවෙයි. ඉදින් එහිදී අපට ඉතිරිවන විකල්පය වනුයේ ළඟින් යන වර්ණයන්ගෙන් සැනසීම පමණි. එයින්ද ඉතිරි වනුනේ අසම්පූර්ණබවමය. අප ජීවිතය ගෙවනුයේ මේ අසම්පූර්ණ බව සම්පූර්ණ කරන්නට දරනා නෙක ප්‍රයත්නයන් සමගිනි. සිසිජා සිය කවියෙහි මේ දිවි ස්වභාවය අගනා අයුරින් මතු කරන්නීය. ඇගේ කවියෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේද ජීවිතයේ මේ හුදෙකලා බව මතු කරන්නට යත්න දැරීමය.

සිසිජාගේ කවියෙ හි සරනා රසිකයා හට නිබඳව මුණගැසෙනුයේ ප්‍රේමය සය වියෝගයේ ගැටුමය. ඇය භාෂාව හසුරවනා සුරුබව හේතුවෙන් රසිකයා හට ඇගේ මේ වියෝ-පෙම් චාරිකාවෙහි ඇය සමග ඇවිද යා හැකිය. එහෙත් සිසිජා නම් කිවිඳිය තුළ පවත්නා ශක්‍යතා තවත් මතු කරගැනීමට නම් ඇය කවියෙහි විවිධත්වය, කවියට විෂයකරගනු ලබනා කලාපයන් පුළුල් කරගැනීම ගැන වඩා කල්පනා කළ යුතුව තිබේ. ඒ සඳහා ඇයට ශක්‍යතාව තිබේ. ඇය කළ යුත්තේ සිය වැඩබිම පුළුල් කිරීම පමණි.

 

 327450950 1606072656575347 1180435109958596956 n 1සටහන -  (ප්‍රවීණ ග්‍රන්ථ පරිවර්තක)  චූලානන්ද සමරනායක

( මෙම සටහන 'Chulananda Samaranayake' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom