lan englan tam

මෙගා ඩ්‍රාමා නැති සම්මාන උළෙලවල් සහ පරිප්පු නැති හෝටල්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Lakmina Ranasinghe-

‘මෙගා’ කියපු ගමන්ම ආපෝ ඊයා ඈක්කා වගේ ලැජ්ජාසහගත අදහසක් සමහර කලාකරුවො විසින්ම සමාජගත කරලා තියනවා.

ඇත්තටම ඒ වගේ අවුල් මෙගා ඩ්‍රාමත් තියනවා තමයි. ඒත් ඉතා හොඳ මෙගා ඩ්‍රාමත් තියනවා මිත්‍රයා. ඒත් අපේ රටේ සම්මාන උළෙලවල්වලින් මෙගා ඩ්‍රාමාවලට, ෂෝට් ෆිල්ම්ස්වලට සහ වෙබ් සීරීස්වලට ලැබෙන්නෙ කුඩම්මගෙ සැලකිලි. ප්‍රමිතියක් නෑ කිය කිය චෝදනා එල්ලවෙන අපේ රටේ මෙගාවල ප්‍රමිතිය වැඩි කරන්න සම්මාන උළෙලවල්වලට පුළුවන්. ඒත් එහෙම වෙන්න නම් සම්මාන උළෙලවල් අප්ඩේට් වෙන්න ඕනෙ මිත්‍රයා.

ප්‍රේක්ෂකයින්ගේ කැමැත්ත, චැනල්වල පැවැත්ම, නිර්මාණාත්මක බව, නූතන රූපවාහිනී කලාවේ වාණිජ සමබරතාව, ප්‍රේක්ෂකයින්ගේ දින චර්යාව සහ මානසිකත්වය වගේ එකී මෙකී නොකී දේවල්වලට සෙට් වෙන ලල් ඉගිල්ලෙන ගැම්මක් සහ සොමියක් මෙගා ඩ්‍රාමාවලින් ප්‍රේක්ෂකයින්ට ලැබෙනවා. ඒ නිසා හැම මෙගාවක් දිහාම වපර ඇහින් බලන්න එපා මිත්‍රයා.

මෙගා දෙවිවරු වගේ ඉන්න ලක්-ෂ්මි, සමන්, ශිව, ස-රස්වතී වගේ දෙවිවරුන් පවා මෙගා ටෙලි ඩ්‍රාමා ගැන නිර්මාණාත්මකව සහ තාක්ෂණිකව හරි විශ්ලේෂණයක් කරලා සමාජගත කරන්නෙ නැත්තෙ ඇයි කියන එක මට ලොකු ප්‍රශ්නයක් මිත්‍රයා.

ප්‍රායෝගිකව මෙගා ඩ්‍රාමා එකක් කරද්දි ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් සහ කියන්න බැරි දෙවර්ගයක දුෂ්කරතා රොත්තක්ම තියනවා. මේ දුෂ්කරතා නිසාත්, නිර්මාණාත්මක සහ තාක්ෂණික දුර්වලතා නිසාත් මෙගාවල ප්‍රමිතිය අඩු වුන අවස්ථා ඕන තරම් මම දැකලා තියනවා. ඒත් අන්තිමේදි TV එකේ පේන දේ මොකද්ද කියන එක තමයි ප්‍රේක්ෂකයින්ට වැදගත්.

මොන තරම් දුෂ්කරතා තිබුනත් යම් ප්‍රමිතියක් පවත්වාගෙන මෙගා ගේමක් ගහලා මෙගා කරන නිර්මාණකරුවොත් ඉන්නවා. ඒත් අවාසනාවකට ඒ අයට හරි ඇගයීමක් සම්මාන උළෙලකින්වත්, ප්‍රේක්ෂකයින්ගෙන්වත්, කලාව ගැන උනන්දුවෙන අයගෙන්වත් ලැබෙන්නෙ නෑ මිත්‍රයා. මේ නිසා ප්‍රමිතිය හෝ අවම ප්‍රමිතියවත් පවත්වා ගන්න මෙගා ඩ්‍රාමාවලට කිසිම දිරිගැන්වීමක් ලැබෙන්නෙ නෑ. මේ නිසා ඉතිං, මෙගා දුකකි - ඉරකි තිතකි! තමයි මිත්‍රයා.

නූතන ලෝකයේ ටෙලි ඩ්‍රාමා සම්බන්ධයෙන් Second Screen Engagement කියන සංකල්පය ගොඩක් මාධ්‍ය ආයතන සලකා බලනවා. ඒ කියන්නෙ ටෙලිවිෂන් තිරයට අමතරව, ෆෝන් එකේ හෝ වෙනත් තිරයකිනුත් ප්‍රේක්ෂකයින් මේ කියන ඩ්‍රාමා එක්ක සම්බන්ධයක් ඇතිකරගන්නෙ කොහොමද කියන කාරණාව. ලෝකයේ මීඩියා කම්පැනීස්, ඇඩ්වටයිසිං ඒජන්සීස් සහ මාර්කටිං කම්පැනීස් මේ ගැන ගොඩක් උනන්දු වෙනවා. මෙන්න මෙතෙන්දි ශ්‍රී ලංකාවේ මෙගා ඩ්‍රාමාවලට තීරණාත්මක වටිනාකමක් ලැබෙනවා මිත්‍රයා.

පිළිගත්ත ටෙලිනාට්‍ය ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් නැති මේ කාලෙ සාධනීය ලෙවල් එකක තියන මෙගා ඩ්‍රාමා ගැන විශ්ලේෂණාත්මකව සහ සියුම්ව බලලා ඒවට සම්මාන දුන්නොත් ඒක ගොඩක් වටිනවා. ඒකෙන් අදාළ සම්මාන උළෙලේ ජනප්‍රියත්වයත් දොඹෙන් වැඩි වෙනවා. මොකද දන්නවද... මෙගා කියන්නෙ ගොඩක් වෙලාවට සම්මාන දෙන මොහොත වෙනකොටත් ප්‍රේක්ෂකයින් අතර සජීවීව තියන දෙයක්. ඉතිං මිත්‍රයා, අතිශය ජනප්‍රිය අංශයක් වුන මෙගා ඩ්‍රාමා අංශයට සම්මාන දෙන්නෙ නැති සම්මාන උළෙලවල් හරියට පරිප්පු නැති හෝටල් වගේ.

සම්මානවලට මෙගා ඩ්‍රාමා සලකා බලන එකේ ප්‍රායෝගික දුෂ්කරතා තියනවා තමයි. ඒත් ඒ දුෂ්කරතා ජයගන්න තාක්ෂණික, උපායමාර්ගික, විද්‍යාත්මක සහ නිර්මාණාත්මක ක්‍රමෝපායන් ඕන තරම් තියනවා.

උදා -

1. අවසන් වූ අවුරුද්දේ එක ළඟ විකාශය වූ කොටස් 30ක් පමණක් සම්මාන සඳහා ඉදිරිපත් කිරීම.

2. කතාවේ සාරාංශය කෙටි වීඩියෝවක් (Preview reel, synopsis reel) මඟින් ඉදිරිපත් කිරීම සහ එම වීඩියෝවේ ඇති කතාව පදනම් කරගනිමින්, සබ්මිට් කළ කොටස් 30 සම්මාන සඳහා සලකා බැලීම.

3. මෙගා ඩ්‍රාමා සඳහා සම්මාන ‍ලබා දීමේදී performance clips ක්‍රමවේදය මඟින් අදාළ සම්මාන අංශවල ජයග්‍රාහකයින්ව තීරණය කිරීම.

4. ගායනය, පද රචනය වගේ සම්මාන අංශ සහ අලුතෙන් නිර්මාණය කළ හැකි best title design, best trailer වගේ සම්මාන අංශ සඳහා සාමාන්‍ය ඩ්‍රාමා සමග මෙගා ඩ්‍රාමාත් සලකා බැලීම.

5. මෙගා ඩ්‍රාමා සඳහා hybrid judging ක්‍රමයක් හඳුන්වා දීම. (ජූරි මතය සහ ප්‍රේක්ෂක මතය එකට එකතු කිරීම)

මීට අමතරව තවත් ක්‍රමවේද ගොඩක් තියනවා මිත්‍රයා. මෙතෙන්දි මෙගා ඩ්‍රාමා එකක් කියන්නෙ මොකද්ද කියන එකට හරි නිර්වචනයක් තියන එකත් ගොඩක් වැදගත්. දීර්ඝ ටෙලිනාට්‍ය සඳහා සම්මාන දෙන එක කොරියාව, ඉන්දියාව, හොංකොං, චීනය,‍ ජපානය, ඇමරිකාව වගේ රටවල්වල සාර්ථකව සිද්ධ වෙනවා.

හැබැයි මේ වැඩේ වරදින්න පුළුවන් සංවේදී තැනුත් ගොඩක් තියනවා. එහෙම වැරදුනොත් සම්මාන උළෙලවල්වලට වෙන්නෙ ඇදගෙන නාගත්තා වගේ වැඩක් මිත්‍රයා.

අඩු කොටස් ගාණක් තියන සාමාන්‍ය ඩ්‍රාමාවලට සම්මාන දෙද්දිත් ප්‍රධාන සම්මාන උළෙලවල්වල ජූරිවලින් වෙච්ච තාක්ෂණික සහ ගුණාත්මක දෝෂ ඕන තරම් තියනවා. මෙගා ඩ්‍රාමාවලට සම්මාන දෙද්දිත් ඒ දෝෂ සිද්ධ වුනොත් විනාසයක් තමයි වෙන්නෙ. මොකද මෙගාවලට සම්මාන දෙනවා කියන්නෙ, අඩු කොටස් ගණනක ඩ්‍රාමාවලට සම්මාන දෙනවට වඩා හරිම සියුම් විදිහට නිරීක්ෂණය කරලා, විද්‍යාත්මකව කරන්න ඕන දෙයක්.

මොකක් හරි ඩ්‍රාමා එකක ප්‍රධාන නිළිය/නළුවා කවුද, සහය නිළිය/නළුවා කවුද කියලා හරියට විද්‍යාත්මකව වර්ගීකරණය කරගන්න පවා සමහර ජූරි අපොහොසත් වුනා. අහෝ දුකකි - ඉරකි හඳකි!! ඒ වගේම TV එකේ දාන්න බැරි තරමේ බරපතල තාක්ෂණික දෝෂ තිබුන අංශවලටත් මේ අවුරුද්දෙ තිබුන සමහර සම්මාන උළෙලවල්වල ‘වසරේ හොඳම’ සම්මාන දුන්නා. 

මේ විදිහට බැලුවම මෙගාවලට සම්මාන දෙන්න ගිහිල්ලා ස්නානය කරගන්නවට වඩා මෙගාවලට සම්මාන නොදී ඉන්න එක හොඳයි කියලා කෙනෙක්ට තර්කයක් ගේන්න පුළුවන්. සම්මාන උළෙලවල්වල වෙච්ච දේවල් ඇනලයිස් කරලා බැලුවම ඒ තර්කෙත් පට්ට සාධාරණයක් තියනවා.

මොන අභියෝගය තිබුනත්, විද්‍යාත්මකව ප්ලෑන් කරලා, පොඩි රිස්ක් එකකුත් අරගෙන අඩුවෙන් වැරදි වෙන විදිහට මෙගා ඩ්‍රාමාවලට සම්මාන දෙන වැඩේ කළොත් ඒ සම්මාන උළෙලත්, මෙගා ඩ්‍රාමා ෆීල්ඩ් එකත් ගොඩේ ගොඩ.

ඉතිං අපි බලමු මේ වැඩේ හරියට කරන්නෙ කවුද කියලා. එච්චරයි!!

 

217650699 4757575867605043 4807348825720843340 n

 

 

 සටහන - ලක්මිණ රණසිංහ 

(මෙම සටහන "Lakmina Ranasinghe" ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom