-Kapila.M.Gamage-
කවිය යනු අති සූක්ෂ්ම භාෂා ලෝකයක් පදනම් කරගත් කලා මාධ්‍යයක්.
එහි නිපන් සූක්ෂමතාව නිසාම නිර්මාණකරණයේදී එය පහසු දෙයක් වන්නේද නැහැ. මේ සූක්ෂමතාව ප්‍රගුණ කිරීමට නම් කවියෙකුට තිබිය යුතු කුසලතාවක් වන්නේ සියුම් නිරීක්ෂණ හැකියාව. මානව චර්යාවන්, පාරිසරික චලනයන් , මානව හැඟීම් වල සංවේදනාවක්, මානව සම්බන්දතාවන්ගේ ගැඹුරු අර්ථයන් ගැන කවියාට වෙනස් වූ සූක්ෂම නිරීක්ෂණමය ගුණයක් අවශ්‍යයි.
ඇතැම් කවියන් බාහිර ලෝකය නිරීක්ෂණයට සිතැත්තෝ වෙනවා. ඔවුන් තමන්ගේ බාහිර ලෝකයේ සිදුවීම්, සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික පර්යායලෝකයන්ගෙන් දකින්නට පෙළඹෙනවා. එහිදී කවියා නරඹන්නෙකු නොවී ඒ සිදුවීම් වල පාර්ශ්වකරුවෙක් බවට පත්වෙනවා. ඇතැම් කවීන් තමන්ගේ දෘෂ්ටිපතය තමන් තුලටම හරවා ඒ විඳීම් කවිය ලෙසින් ප්‍රකාශනය කරනවා. එය අන්තරාවර්තී කවිය ලෙසයි හැඳින්වෙන්නේ. එය පුද්ගලයෙකුගේ සිතුවිලි, හැඟීම් සහ ස්වයං දැනුවත්භාවය ඇතුළුව ඔහුගේ හෝ ඇයගේ අභ්‍යන්තර ලෝකය ගවේෂණය කර ලිවීමේ ආකාරයක්. එය බොහෝ විට පුද්ගලික අවස්ථා, අභ්‍යන්තර ගැටුම් සහ ස්වයං පරාවර්තන කෙරෙහි අවධානය යොමු කිරීමෙන් තමන්ගේම හැඟීම්, අත්දැකීම් සහ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට සහ තේරුම් ගැනීමට ක්‍රමයක් ලෙස භාවිතා වෙනවා.
මේ පූර්ව සටහන ලිවීමේ උවමනාව පැන නැගුනේ දිනූ රාජගුරු කිවිඳිය ගේ "අඬගසයි මට රාත්‍රිය" කාව්‍ය සංග්‍රහය කියවීමට එය කිසියම් ආකාරයක ආලෝක කවුළුවක් විවෘත කර දෙතැයි හැඟුන නිසා. දිනූ කිවිඳියක ලෙසින් කාව්‍යලෝකය හඳුනාගන්නේ ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය වන "මල් වඩම් සිනාසිය යුතුයි" යන කෘතියෙන්. පාඨක - විචාරක සමාජය එහිදී ඇගේ විශේෂතා මහා පොදුගුණාකාරය ලෙස දකින්නේ ඇය සතු අති සූක්ෂම නිරීක්ෂණ ගුණය. ඇගේ දෙවෙනි කාව්‍ය සංග්‍රහය ඇගේ කවි මගෙහි ඊළඟ සැතපුම් කණුව සටහන් කරන්නේ ද?
දිනූ රාජගුරු ගේ "අඬගසයි මට රාත්‍රිය" කෘතිය සම්පූර්ණයෙන්ම අන්තරාවර්තී කාව්‍යා ධාරණාවන්ගෙන් හෙබි කෘතියක්. ඇය ඒ නිර්මාණයන් තුලින් තමන්ගේ චිත්තාභ්‍යන්තරය තුළට එබී බලන්නට උත්සාහ කරන ආකාරය දකින්න පුලුවන්. එය ඇගේ පිදුම තුළම ඇය සටහන් කරන්නේ මෙලෙසින්.
තනිකමත්
සීතලත්
බඩගින්නත්
හිංසනයත්
බලාපොරොත්තු සුන්වීමත්
දරාගැනීම වෙනුවෙන්
කිසිදු ත්‍යාගයක් නොලද
සිනිඳු නිහඬ දැරියක වූ
මගේ අහිංසක කුඩා ළමා ආත්මයට.
ඇය මෙහිදී ප්‍රකාශ කරන්නේ ඇය තව තවත් තමා තුළටම ගුළි ගැසීමට ඈ තුළ ඇති කැමැත්තයි. බාහිර ලෝකයෙන් මිදී තමා තුළම තමා සොයායාමට ඇති ආසාවයි.
"පාසි මීවන නිදාවැටෙනා
ඒ අර එදා රන් පාට ඔරුවද
චන්ද්‍ර මුහුණත අසලින්ම
ඔහු මා එක්ව පැද ගිය
මේ මෙතන බිඳී කැබලිතිව ඇත්තේ
හබලද
මා සිතද
ගඟද අඳුරද?"
ඇගේ කවිය තුළ ඇය කෙතරම් තමන් තුළටම හැරී ඇතිදැයි පැවසෙන අපූරු කවියක් මෙහි එයි.
"මැරුණු
මින් වරලකින් නගින්නේ
නොනැවතී සෙලවෙනා සමුදුරක
ඝෝෂාව
ඉරුණු
මල් පෙත්තකින් ඇසෙන්නේ
වර්ණයක් වැළඳගෙන හෙට උදෙත් අවදිවෙන
ආශාව
හැරුණු
පසු පෙනෙන්නේ
වැල් පාලමෙන් එතෙරවෙන ගමන්
ගී ගයන
ගෲෂාව
දරුණු
දඬුවමක් විය
කවුරුවත් නොදන්නා මට අයිති රහසිගත
භාෂාව"
ඇය මේ පවසන්නේ කුමක්ද තමන් තේරුම් ගත නොහී සමාජයෙන් හුදකලා වූ පසු වුවද ඇය පෙලන්නා වූ තනිකමයි. එය ලෝකයා වටහා නොගන්නා රහසිගත භාෂාවකි. දිනූ අති සියුම් සිතැත්තියක්. ඇය ඒ ඉසියුම් බව නිසාම තමන් අවට ලෝකය, එහි භෞතික දේ, සිදුවීම්, චලනයන් සියුම් ලෙස නිරීක්ෂණය කරමින් ඒවායින් ජීවිත අරුත සොයා යන්නියක්.
"ඉඳිකටුවකින් පෑරෙන රිදුමක තිත්ත
පෙති යට තියාගෙන හිනැහෙන මල් ඉත්ත
කැඩපත පවා නොදකී දෙපිටක ඇත්ත
හැඩිවූ බිමකි ගෙතුමක කනපිට පැත්ත."
මේ නිරීක්ෂණය බලන්න. ඇය එය ජීවිත ධර්මතාවන්ට රූපකයක් ලෙස ගලපන ආකාරය අපූරුය.
දිනූගේ කවියේ යටින් දිවෙන තේමාත්මක සාම්‍යයක් දකින්න ලැබෙනවා. ඒ සංවේදී මිනිසුන් ස්වකීය ජීවිතයේ විඳින්නාවූ අතැරයාම්, නොසලකාහැරීම්, හුදකලාකිරීම්, නොගැලපීම් වලින් උපදිනා සාංකාමය හැඟීම් ප්‍රකාශනය. එය කිසියම් ආකාරයක ශෝකී ජීවන තානයක්. අළු පැහැති අඳුරක්.
"කලබල රැළි මැදින්
අත පොවා
හුරුබුහුටි නැව් ඇහිඳ
බඩතුරේ හංගගද්දි - මුහුද
බිඳුණු බෙලි කටු තුඩින්
අතුරුදන් නැවියෙකුට
කවි ලියා
මුහුදුබත් වී තිබුණි - මහද"
තමන්ගේ ජීවිතයට පැමිණෙන අනෙකාට තමන් තේරුම්ගත නොහී නම් තව දුරටත් පීඩන දරාගෙන බලහත්කාරයෙන් නොරැඳී අවැසි මොහොතක තමා අතැර යන්නටද ඇය ඉඩ දෙනවා. ඒ හැඟීම උපේක්ෂාභරිතයි. නිරාමිසයි.
"බැරිවුණොත් දියවැළට ඉක්මණින් මුසුවෙන්න
මේ අඳුරු දූපතින් නෞකාව හරවන්න
ඒ යද්දි හැමදාම තුරුළු කරගෙන ඉන්න
හඳ එළිය ඔබ ගන්න ආවාට මට දෙන්න"
අන්තරාවර්තී කාව්‍ය තුළ දැකියහැකි මූලික ලක්ෂණ කිහිපයක් තිබෙනවා
01. තමා කෙරෙහි අවධානය යොමු කිරීම.
02. ස්වයං ප්‍රකාශනය
03. අන්තරාවලෝකනය සහ චින්තාපර බව
04. පුද්ගලික ගවේෂණය
05. බොහෝ විට සරල, ශක්තිමත් භාෂාවක් භාවිතා කිරීම
දිනූගේ කවිය තුළ මේ ලක්ෂණයන් අඩුවැඩි වශයෙන් දකින්න ලැබෙනවා. ඇගේ බස සරළයි. ගැටපද විවරණ අවැසි වන්නේ නැහැ. එසේම ඇය කවියෙන් තමන්ගේම චිත්තාභ්‍යන්තරය විමසනවා. යළි යළි ඒ ගැන සිතයි. ඇයට අවශ්‍යවන්නේ නිදහස. ඇගේ සිතිවිලි ලෝකයට බාධා පැමිණවීම ප්‍රිය කරන්නේ නැහැ.
"අඳුර ඇවිදින් ඇහැට ඇන ඇන
කොහේදැයි නුඹ අහන හින්දා
සොඳුර අහසේ කෙළවරක මම
එක ළඟින් තරු දෙකක් ඇන්දා"
"ග්ලැසියර හිසක් පුපුරා හිම පතුරු
සන්සුන්ව ලෙහී යන්නට ඇත
දෝංකාරය හැඩපළු ගෙතී
සීත ධ්‍රැවයක ගිලී යන්නට ඇත
හිතවත,
හදවතේ සිරවූ
කුඩාතර හිමකැටිත්තක් හැරුණුකොට
මා දැන් සුවෙනි, සනීපෙනි.
දිනූ රාජගුරු කිවිඳිය ගේ "අඬගසයි මට රාත්‍රිය" කෘතිය වෙනස්වූ චෛතසික තලයක සිට කියවිය යුතු කෘතියක්. එය බොහෝවිට මනෝ විශ්ලේෂණවාදී තලය විය යුතුයි. ඇයගේ දෙවන කෘතිය කාව්‍යක්ෂේත්‍රයේ කිනම් තලයක ස්ථාන ගතකළහැකිද? ඇය සිය පළමු කෘතියට වඩා ඉදිරිගාමීද? නැත්නම් පසුගාමීද? කියා නිර්ණය කළහැක්කේ එවිටයි. නැත්නම් ඇයගේ කවි වලට අසාධාරණයක් සිදුවේවි.

සටහන - © කපිල එම්. ගමගේ
(ලේඛක, විශ්ව විද්‍යාල කථිකාචාර්ය)
( මෙම සටහන Kapila.M.Gamage ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)
















