lan englan tam

“පොරෝ පාරෙන්” වැඩ ගන්නා නළු නිළියෝ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Lakmina Ransinghe-

ආර්ථිකය, අවස්ථා මඟහැරීමේ නොහැකියාව සහ අපේ රංගන ක්ෂේත්‍රයේ ස්වභාවය නිසා මේ දවස්වල අංකුර, නවක, නැගී එන සහ අත්දැකීම් සහිත නළු නිළියෝ එකදිගට රඟපාගෙන පාගෙන පාගෙන යනවා.

ඒක හරියට පොරවෙ තලේ මුවහත් කරන්නෙ නැතුව ඒ පොරවෙන් එක දිගට ගස් කපාගෙන කපාගෙන යනවා වගේ වැඩක්. ඊට පස්සෙ ඔය ගස් කපපු අය අතරින් පිරිසක් ජනප්‍රිය වෙනවා. ජනප්‍රිය වුනාට පස්සෙ අවශ්‍ය සහ අනවශ්‍ය හැම දෙයක් එක්කම ඒ අය හිතාගන්න බැරි තරම් busy වෙනවා. එහෙම busy වුනාට පස්සෙ මේ නළු නිළියන්ට තමන්ගෙ මොට්ට වුන පොරව මුවහත් කරගන්න ලොවෙත් no time මිත්‍රයා.

ආරම්භයේදී ඕන කෙනෙක්ට තමන්ගෙ අඩුපාඩු හදාගෙන මුවහත් වෙන්න ලේසියි. ඒත් මෝරලා වේලිලා පරිණත වුනාට පස්සෙ නවලා අඹරලා තමන්ගෙ හැකියාව මුවහත් කරගන්න අමාරුයි. මොකක් හරි වැරදි මොට්ට දෙයක් ආරම්භයේ ඉඳලා කාලයක් තිස්සෙ එක දිගට කරාට පස්සෙ ඒක රංගන ශිල්පියාගේ මසල් මෙමරි එකට එකතු වෙනවා. ඊට පස්සෙ ඉතිං ඒක හදන්න පට්ට අමාරුයි. එහෙම වැරදි නොවෙන්න නම් විවේක බුද්ධිය සහ පුහුණුව කියන දේ අත්‍යාවශයි. එතකොට තමයි අලුත් වෙලා, වැරදි හදාගෙන පොරව මුවහත් තියාගන්න පුළුවන් වෙන්නෙ.

සමහරු ආරම්භයේදීම පොරව හොඳට මුවත් කරගත්තත් තමන්ගෙ පොරවෙන් හැම ගහටම පොරෝ පාරවල් දෙද්දි පොරව මොට්ට වෙනවා සහ outdated වෙනවා. ඒත් අපේ නවක සහ සැලකිය යුතු කාලයක් ක්ෂේත්‍රයේ හිටපු නළු නිළියො පවා පොරව මුවහත් කරන්නෙ නෑ. එක හුස්මට ගස්වලට පොරෝ පාරවල් දෙනවා විතරයි.

පොරව මුවහත් තියන්න නම් ගස් කපන එක පොඩ්ඩක් නවත්තන්න ඕනෙ. එතකොට තමන්ට වෙන තාවකාලික පාඩුව ගැන නළු නිළියො ගොඩක් හිතනවා. ඒත් පොරව මුවහත් කළාම ලැබෙන අති විශාල දිගු කාලීන ගුණාත්මක වාසි ගැන නළු නිළියො හිතන්නෙ නෑ!! නළු නිළියන්ගෙ මොට්ට පොරව නිසා ඒ අයගෙත්, සමස්ත රංගන ක්ෂේත්‍රයෙත් ප්‍රමිතිය අඩු වෙනවා. සමහර අති දක්ෂ නළු නිළියො පවා තමන්ගෙ පොරව මුවහත් කරන්නෙ නැති නිසා හැකියාව මොට්ට කරගෙන තියන හැටි මම දැකලා තියනවා.

එක පැත්තකින් බොහෝ නළු නිළියො පොරවට චෝදනා කරනවා පොරව හරියට කැපෙන්නෙ නෑ කියලා. තවත් පැත්තකින් ඒ අය කියනවා කාර්යබහුල නිසා පොරව මුවහත් කරන්න වෙලාවක් නෑ කියලා. නොදනිමි කාගෙ දොසා. තමන්ගේ කාලය කළමනාකරණය කරගෙන පොරව මුවහත් කරගන්න එක වෘත්තීමය නළු නිළියෝ කළ යුතුමයි.

දැන් මොකද්ද මේ පොරව මුවහත් කිරීම කියන්නෙ?

නළු නිළියන් පොඩි විවේකයක් අරගෙන; ක්ෂේත්‍රයේ වෙන දේවල්, ප්‍රේක්ෂකයින්ගෙ මනස තියන තැන, නව ප්‍රවනතා, දේශීය ටෙලි නාට්‍යවලත් සිනමාවෙත් වෙලා තියන update, තමන් ගැන සමාජයේ තියන අදහස වගේ දේවල් ගැන අවබෝධයක් ලබාගන්න ඕනෙ. ඒ විතරක් නෙමෙයි, image එක හදාගෙන, දක්ෂතා ඔපමට්ටම් කරගෙන, රංගනය ගැන අවබෝධයක් අරගෙන, විෂය ගැන ඉගෙනගෙන, අඩුපාඩු හදාගෙන, ඇඟත් මනසත් රිකවරි කරගෙන, තාක්ෂණිකව සහ භාවාත්මකව නිවැරදි වෙලා ඉදිරියට යන එකත් පොරව මුවහත් කරන වැඩේට අයිතියි.

පොරව මුවහත් තියන්න නම් විෂය දැනුම තියන අයත් එක්ක කතා කරලා, තමන්ගේ වීඩියෝස් බලලා, පුහුණු වෙලා, අධ්‍යනය කරලා හොඳ අවබෝධයක් අරගන්න ඕනෙ. ඊට පස්සෙ ගේමක් නැතුව සුපිරියට ගස් කපන්න පුළුවන්.

ඒත් ගොඩක් නළු නිළියෝ මොට්ට පොරවකින් ගස් කප කප විශාල මානසික පීඩනයකින් සහ අසාර්ථක වෘත්තීය කරුණුත් එක්ක කාලය ගත කරනවා. ඒත් මොන තරම් ජනප්‍රිය වුනත් බිසී වුනත් තමන්ගේ පොරව මුවහත් තියාගෙන පොරෝ පාරෙන් වැඩ ගන්න නවක සහ ජ්‍යෙෂ්ට නළු නිළියොත් ඕන තරම් ඉන්නවා මිත්‍රයා.

නළු නිළියන්ට විතරක් නෙමෙයි, මේක ඕනම ක්ෂේත්‍රයකට අදාළ න්‍යායක්. ඒත් නළු නිළියෝ ජනප්‍රිය වෙන නිසා පොරව මුවහත් තියන්න ඒ අයට වෙලාවක් නැති වෙනවා සහ අමතක වෙනවා.

මතක තියාගන්න! ගහක් කඩාගෙන වැටෙන්නෙ ඒ ගහට එල්ල කරන අන්තිම පොරෝ පාරෙන් නෙමෙයි. මුවහත් පොරවකින් ගහපු හැම පොරෝ පාරක්ම ඒ ගහ පෙරළන්න උදව් වෙනවා.

 

සටහන - ලක්මිණ රණසිංහ

මාධ්‍ය සහ නිර්මාණ විශ්ලේෂක

Creative Group Head

(Publicis Sri Lanka)

 
 
මේ සටහනේ ඇති විශ්ලේෂණය සම්බන්ධයෙන් එකඟ වෙමින්, මා සමඟ අදහස් බෙදාගත් පහත සඳහන් අයට ස්තූතියි.
ජ්යෙෂ්ඨ රංගන ශිල්පිනී / රංගන උපදේශිකා ‘කෞෂල්යා ප්රනාන්දු’
ප්රවීන වේදිකා නාට්ය නිර්මාණශිල්පී ‘රාජිත දිසානායකRajitha Dissanayake
ටෙලිනාට්ය අධ්යක්ෂ ‘හසුන් සමීර’ Hasun Sameera
ITN හිටපු සභාපති, නීතීඥ ‘සුදර්ශන ගුණවර්ධන’ Sudarshana Gunawardana
 
(මෙම සටහන 'Lakmina Ranasinghe' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom