- Udithe Kahandawaarachchi -
නවක සිනමාකරුවන්ගේ නිර්මාණ උදෙසා වූ ලොව පළමු පෙළ සිනමා උළෙලක් ලෙසින්ද, දකුණු ඇමෙරිකානු මහාද්වීපය තුළ ක්‍රියාත්මක සුවිසල්ම සිනමා උළෙල ත්‍රිත්වයෙන් එකක් ලෙසටද වර්ගීකරණය වන බ්‍රසීලයේ සාඕ පාවුලෝ අන්තර්ජාතික සිනමා උළෙලේ 49 වෙනි අදියර (49TH SAO PAULO INTERNATIONAL FILM FESTIVAL / 49ª MOSTRA INTERNACIONAL DE CINEMA EM SÃO PAULO) පසුගිය 16 වෙනිදා ආරම්භ වූ අතර එහි නිමාව එළඹෙන 30 වෙනිදා සටහන් වීමට නියමිතය.
රටවල් 80 ක් හිමිකම් දරන සිනමාපට 373 ක් මහජනතාවට ප්‍රදර්ශනය කරන මෙවර අදියරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි ප්‍රධානතම තරගකාරි අංශය යටතේ තරග වැදීමට ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ සහ ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ එක්ව නිෂ්පාදනය කළ රිවර්ස්ටන් (RIVERSTONE) චිත්‍රපටය සමත්ව තිබේ.

නවක සිනමාකරුවන්ගේ පළමු හෝ දෙවෙනි දීර්ඝ සිනමා නිර්මාණ (ප්‍රබන්ධ හෝ වාර්තා) වෙනුවෙන් සාඕ පාවුලෝ උළෙලේ ප්‍රධානතම තරග අංශය (නවක සිනමාකරුවන්ගේ තරගය/ NEW DIRECTORS COMPETITION) වෙන්වන අතර, ශ්‍රී ලංකාවේ "රිවර්ස්ටන්" ඇතුළුව රටවල් 50 කට අධික නියෝජනයක් සහිත සිනමාපට 117 ක් මෙවර එම අංශය නියෝජනය කිරීමට සුදුකම් ලබා ඇත.
ලොව ප්‍රමුඛ පෙළ සිනමා උළෙල ආශ්‍රිතව පිළිගත් පොදු සම්මතයන්ට අනුව, එකී උළෙලවල ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කරනු වස් තෝරාගන්නා චිත්‍රපට සංඛ්‍යාව බොහෝවිට 20 ක් හෝ එයට වඩා අඩු අගයක ස්ථානගත වේ. එහෙත් සාඕ පාවුලෝ උළෙලේ එම අගය මෑත කාලීනව සෑම වසරකම චිත්‍රපට 100 කට අධික වේ. ඒ අනුව ලෝකයේ ප්‍රමුඛ පෙළ අන්තර්ජාතික සිනමා උළෙල අතුරින්, උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමට චිත්‍රපට වැඩිම සංඛ්‍යාවකට අවස්ථාව සලසාදෙන සිනමා උළෙල සාම් පාවුලෝ උළෙල වේ. එහෙත් සාම් පාවුලෝ උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමේ 98% ක අවස්ථාව හිමිවන්නේ, මීට පෙර කාන්ස්, වෙනීස්, බර්ලින්, ටොරොන්ටෝ, සන්ඩෑන්ස් ආදී ලොව ප්‍රමුඛතම සිනමා උළෙල නියෝජනය කිරීමට සමත් වූ චිත්‍රපටවලට පමණි. ඒ අනුව ෆිඇප්ෆ් අනුමත ලොව "ඒ" ශ්‍රේණියේ සිනමා උළෙලක් ලෙසට වර්ගීකරණය වන චීනයේ ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට (2025 ජූනි මාසයේදී) සමත්වීම හේතුකොටගෙන, මෙවර සාඕ පාවුලෝ උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය යටතේ තරග වැදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ "රිවර්ස්ටන්" චිත්‍රපටයට හිමිවිය.
"නවක සිනමාකරුවන්ගේ තරගය" ට අදාළව පත්කරන නිළ විද්වත් ජූරිය විසින් එකී අංශය උදෙසා සම්මාන ද්විත්වයක් පිරිනැමීමට නියමිත අතර, ඒ උදෙසා සුදුස්සන් තෝරාගැනීම අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකවීම සාඕ පාවුලෝ උළෙලේ දැකිය හැකි සුවිශේෂි කරුණක් වේ. එහිදී "රිවර්ස්ටන්" ඇතුළුව උළෙලේ ප්‍රධානතම තරග අංශය නියෝජනයට සුදුසුකම් ලැබූ චිත්‍රපට 117 ම උළෙලේ පළමු සතිය තුළදී මහජනතාවට ප්‍රදර්ශනය කරමින්, සිය රුචිකත්වය මත ජන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම ප්‍රේක්ෂකයාට ලබා දීම පළමු අදියර යටතේ සිදු කෙරේ. එහිදී වැඩිම ප්‍රේක්ෂක ජන්ද සංඛ්‍යාවක් ලබා ගන්න චිත්‍රපට 15, සමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත උළෙලේ නිළ විද්වත් ජූරියට යොමු කරමින් අවසන් ජයග්‍රාහකයා තේරීම දෙවන අදියර යටතේ සිදුකෙරේ. මෙලෙස ප්‍රේක්ෂක ජූරිය හා විද්වත් ජූරිය යන ජූරි ද්විත්වයම අදියර දෙකකදී යොදාගනිමින් උළෙලේ ඉහළම සම්මානය උදෙසා ජයග්‍රාහකයා තෝරාගන්නා ලොව එකම ප්‍රමුඛ පෙළ අන්තර්ජාතික සිනමා උළෙල සාඕ පාවුලෝ උළෙල වේ.

සාඕ පාවුලෝ උළෙලේ ආරම්භය 1977 වසරේදී සටහන් වන අතර, ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් පළමු වරට සාඕ පාවුලෝ උළෙල නියෝජනය කිරීමට සමත්වන්නේ 1995 වසරේදීය. ඒ එම වසරේ උළෙලේ තිරගත වූ සුදත් දේවප්‍රියගේ "තරණය" හා එච්.ඩී ප්‍රේමරත්නගේ "සෙයිලම" චිත්‍රපට හරහාය. එතැන් පටන් එකී චිත්‍රපට ද්විත්වයත් ඇතුළුව 2024 දක්වා උළෙලේ තිරගතව ඇති සමස්ත ශ්‍රී ලාංකේය චිත්‍රපට සංඛ්‍යාව 10 කි. ඒ අතුරින් 1995 දී තරණය (සුදත් දේවප්‍රිය), 2001 දී අස්වැසුම (බෙනට් රත්නායක), 2008 දී මචං (උබර්තෝ පැසොලිනි), 2009 දී අහසින් වැටෙයි (විමුක්ති ජයසුන්දර), 2010 දී කර්ම (ප්‍රසන්න ජයකොඩි) සහ 2024 දී නෙළුම් කුලුන (ඉලංගෝ රාම්) යන චිත්‍රපට හය උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමට සමත්ව ඇත.
එහෙත් මේ දක්වා එකී එකදු චිත්‍රපටයකට හෝ මෙම උළෙලේදී සම්මානයකට හිමිකම් කීමේ අවස්ථාව හිමිව නොතිබීම කැපී පේනේ. තරගකාරී අංශය නියෝජනයන කළ ඉහත චිත්‍රපට 06 ට අමතරව සෙයිලම (එච්.ඩී ප්‍රේමරත්න), තනි තටුවෙන් පියාඹන්න (අසෝක හඳගම), වෑකන්දෙ වලව්ව (ලෙසටර් ජේම්ස් පීරිස්) සහ අලිමංකඩ (චන්ද්‍රන් රත්නම්) යන ශ්‍රී ලාංකේය චිත්‍රපට තරගකාරිත්වයෙන් බැහැරවූ අංශ යටතේ උළෙලේ තිරගතකොට ඇත.
ශ්‍යාම් ප්‍රනාන්දු, රන්දික ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, ආනන්ද කුමාර උන්නැහැ හා ප්‍රබෝදිනී චන්ද්‍රසේනගේ රංගනයෙන් "රිවර්ස්ටන්" හැඩවේ. ලලිත් රත්නායකගේ හා නිලන්ත පෙරේරාගේ තිර රචනයෙන්, තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණයෙන්, චාලක යසස් පෙරේරාගේ සංගීතයෙන්, සමන්ත වන්නිආරච්චිගේ කලා අධ්‍යක්ෂණයෙන්, සසික රුවන් මාරසිංහගේ ශබ්ද සැලසුම්කරණයෙන් නිමවුණු රිවර්ස්ටන්හී වේෂ නිරූපනය ප්‍රියන්‍ත දිසානායකගෙනි.

යූල්කේ ෆිල්ම්ස් වෙනුවෙන් "රිවර්ස්ටන්" බ්‍රසීලයේ සාඕ පාවුලෝ උළෙලට ඉදිරිපත් හා සම්බන්ධීකරණය උදිත කහඳවආරච්චිගෙනි
සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi
Riverstone at Festival Link - https://mostra.org/filmes/riverstone
Festival Link - https://mostra.org/
මෙම ලිපිය 'Sri Lankans at International Film Festivals' නිල ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.
















