මං ටිම් ක්‍රවුච්ගේ An Oak Tree නාට්‍යය මුලින්ම දකින්නේ 2015 දී එඩින්බ්රෝ ෆින්ජ් නාට්‍ය උළෙලේදී (Edinburgh Festival Fringe).
මාව ඒ නාට්‍යය බලන්න එක්කරගෙන ගියේ මහාචාර්ය ජෙනී ස්පෙන්සර්. එක දවසක් බලලා මදි නිසා අපි තව දවසක් නාට්‍යය බලන්න ගියා. An Oak Tree නාට්‍යයේ අදහසට - නාට්‍ය කලාව ගැන, කතන්දර කීම ගැන, සංකල්ප ගැන, අපේ මනස ගැන වගේම ඉතාම සංවේදී විදිහට මිනිස් සම්බන්ධතා ආමන්ත්‍රණය කරන ආකාරය ගැන - මට ආසා හිතුණා. දෙවෙනි දවසේ නාට්‍යය ඉවරවෙලා මං ටිම්ගෙන් ඇහුවා මේ නාට්‍යය සිංහලට පරිවර්තනය කරලා ලංකාවෙ පෙන්නන්නද කියලා. ඔහු එදා ඒකට අවසර දුන්නේ හරිම සතුටින්. එදා ඉඳලා අද වෙනකල් ටිම් ක්‍රවුච් මේ නාට්‍යයට ලොකු සහයෝගයක් දෙනවා. අන්තිමට ඔහු එවූ පණිවිඩයේ තිබුණේ "මේ නාට්‍යය දැන් ඔයාලගේ කරගන්න" කියලා. ඇත්තටම ඒ වචන හරිම ප්‍රබලයි. ඒ විදිහට තමන්ගේ කෘතිය වෙන භාෂාවකට, ලෝකයකට, යථාර්ථයකට, අවකාශයකට එකතු වෙන්න අතහරින එක හරිම ලස්සන වැඩක්.

බ්‍රිතාන්‍ය නාට්‍යකරු ටිම් ක්‍රවුච්
ඉතින් නාට්‍යය අපේම වුණා. වැරදියට ගන්න එපා; ඒක තවමත් ටිම්ගේ නාට්‍යය; ඒත් එක්කම ඒක අපේ නාට්‍යය. පරිවර්තනය කියන්නේ පිස්සු හැදෙන වැඩක්. පරිවර්තනය කියන්නේ සමීපතම වූ කියවීම බව ගයාත්‍රි ස්පිවැක් කියනවා. ඒක ඇත්ත. මේ නාට්‍යය පරිවර්තනයේ ඉඳලා පුහුණු වීම හරහා යන ගමන හරිම ආස්වාදජනකයි. මාස ගාණකට ඉස්සෙල්ලා පුහුණු අවකාශයට ගෙනාපු පිටපතම නෙවෙයි දැන් තියෙන්නෙ. මෙහි මෝහනවේදියාගේ චරිතය රඟපාන ප්‍රියන්ත සිරිකුමාර ඔහුගේම ජීවයක්, හැඩයක්, වහරක් නාට්‍යයට අරගෙන එනවා. ප්‍රියන්ත නාට්‍යයේ හැම වචනයක් ගැනම හිතමින් මේ නාට්‍යයට කරන දායකත්වය සහ ඔහුගේ මනබඳින රංගනය හරහා මේ නාට්‍යයේ සිදු වෙන විපර්යාස මං බලාගෙන ඉන්නේ විස්මයෙන්. ඒකෙන් නාට්‍යයට තවත් තලයක් එකතු වෙනවා. ඒක හරිම රසවත් අත්දැකීමක්. භාෂාවක් කියන්නේ වෙනම යථාර්ථයක්, වෙනම ලෝකයක්. මේ ක්‍රියාවලිය අපට ක්‍රවුච්ගේ නාට්‍යයට වගේම අපේ ඇතුළාන්තටත් එබෙන්න ආරාධනා කරනවා. බ්‍රිතාන්‍යයේ ඕක් ගහ ලංකාවේ නුග ගහක් විදිහට මුල් අදින්න පටන් ගන්නවා. ඒ වගේම අපි අපේ පළවෙනි දර්ශනය කරන්න ලෑස්ති වෙද්දී ටිම් ක්‍රවුච් 400 වැනි දර්ශනය පසු කරමින් An Oak Tree නාට්‍යය ලොව පුරා රැගෙන යමින් ඉන්නවා.

මේ නාට්‍යයේ තියෙන විශේෂත්වයක් තමයි හැම දර්ශනයකදීම දෙවෙනි භූමිකාව සඳහා වෙනස් නළුවෙක් හෝ නිළියක් එකතු වීම. ඒ වගේම මේ දෙවෙනි නළුවා කිසිම දිනක මේ නාට්‍යය දැකලාවත් කියවලාවත් නැහැ. ඉතින් ප්‍රේක්ෂකාගාරය වගේම දෙවෙනි නළුවාත් මේ අත්දැකීම විඳින්නේ ඒ මොහොතේ.* 'නුග ගහක්' නාට්‍යය වේදිකාවේ නාට්‍යයක් නැරඹීමේ සජීවී අත්දැකීම වෙනත් තලයකට අරගෙන යනවා. අපේ පරිකල්පනය පාවිච්චි කරලා වේදිකාව මත සිදු වෙන දේ එක්ක සම්බන්ධ වෙන්න, ඒ මෝහන අත්දැකීමේ කොටසක් වෙන්න මේ නාට්‍යය අපට අවකාශය ලබා දෙනවා.
...................................

*'නුග ගහක්' නළුවන් දෙදෙනෙකුගේ නාට්‍යයක්. ප්‍රියන්ත සිරිකුමාර මෝහනවේදියකුගේ භූමිකාවට පණ පොවන අතර දෙවෙනි චරිතය සඳහා සෑම දර්ශන වාරයකම වෙනස් නළුවෙක් හෝ නිළියක් එක් වෙනවා. දෙවැන්නා වේදිකාවට ගොඩ වන්නේ මේ නාට්‍ය ඉන් පෙර කිසි ම දිනක නොදැක; මෙම පිටපතේ වචනයකුදු කලින් නොකියවා, පෙර පුහුණුවකින් තොරව. ඔවුන් එම මොහොතේ දිග හැරෙන සිදුවීම් දාමයේ කොටස්කරුවන්
බවට පත් වෙනවා. ඒ අනුව ආරම්භක දින තුනේ දී පිළිවෙලින් අශාන් ඩයස්, ශ්‍යාම් ප්‍රනාන්දු සහ සමාධි ලක්සිරි දෙවෙනි චරිතය නිරූපණය කරනවා.
සටහන - කංචුකා ධර්මසිරි
නුග ගහක් (An Oak Tree) වේදිකා නාට්‍යය වේදිකාගත වන දින හා ප්‍රවේශ පත්‍ර ඇතුළු සියළු විස්තර සඳහා පිවිසෙන්න මෙතනින්. Click Here
















