lan englan tam

"කතා නොකෙරුවත් නාමෙල් නාමෙල් මයි - නාමෙල් මගේ ම යි"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

.-Sandun Priyankara Vithanage- 

("අනිද්දා" ජාතික පුවත්පත)

පහුගිය සිකුරාදා (24) හැන්දෑවෙ වැහි කෝඩෙ මැද්දෙ බොරැල්ලෙ පුංචි තියෙටර් එකේදි තමා ඉහත කිව්ව කතාව ඇහුණෙ. ඒ කතාව කිව්වෙ මාලිනී වීරමුණි. "නාමෙල් - මාලිනී" කියන්නෙ අපේ භාෂාවට එක් වුණ යුගල පදයක්. මේ කතාව කිව්ව අවස්ථාව තමයි නාමෙල් වීරමුණි විසින් ලිව්ව ස්වයංලිඛිත චරිතාපදානයේ සිංහල පරිවර්තනය ජනගත වීම

නාමෙල් වීරමුණි කියන්නෙ, ලංකාවෙ කලා අවකාශයෙන් කොහොමටවත් මගහැර යන්න පුළුවන් කෙනෙක් නෙවි. රංග ශාලාවල් අතලොස්සක් ඇති රටේ තමන්ගෙ ඉඩකඩම් විකුණලා රටේ මිනිස්සුන්ට නාට්‍ය බලන්න රංග ශාලාවක් බොරැල්ල හංදියෙ හදපු එකම එක්තරා පුරාවෘත්තයක්.

නාමෙල්ට දැන් වයස 91ක්. අනෙක් හැමදාම නාට්‍යවලට බොහෝ විට පිරී ඉතිරෙන පුංචි තියෙටර් එක එදා නම් පිරිලා ඉතිරුණේ නෑ. මාලිනී කිව්වා වගෙම නාමෙල්ට දැන් කතා කරන්නත් බෑ. ඔහු රෝද පුටුවකට වෙලා මේ සියල්ල දිහා නිහඬ බැල්මෙන් බලා හිටියා. මුළු වැඩසටහන පුරාම මාලනී ඔහුගේ අත පිරිමදිමින් තිබුණා.

ඉතිහාසය අමතක කරන ජාතියකට අනාගතය ගොඩ නගන්න බෑ. කලා ඉතිහාසය නොදන්න කලාකරුවන්ට නව කලා කෘති නිර්මාණය කරන්නත් බෑ. ලංකාවෙ කලා සංස්කෘතික කතිකාවට ලොකු දෙයක් එකතු කරපු මේ මිනිස්සු වෙනුවෙන් ඔවුන් ජීවත් වෙලා ඉද්දි ගෞරවයක් එකතු කරන එක තමා මනුස්සකම කියන්නෙ. කලාකාරයො නිකම් කලාව කරන්නෑ නේද වගේ කතා එතැනට අදාල නෑ. ඒවා අපේ සංස්කෘතියෙ කතා කරන යුතුකම් ගොන්නට තමා වැටෙන්නෙ. මේ මිනිස්සු රටේ සංස්කෘතික ජීවිතය වෙනුවෙන් කළ දේ සෑහෙන බර නිසා. ජීවිතේ සැඳෑ භාගෙ ගෙවන ඒ වගෙ අය වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කළාම ඒකට සහභාගි වෙලා අත්පොළසනක් දෙන්න පුළුවන් නම් ඒක සෑහෙන දෙයක්. ඒත් අදාළ වැඩසටහනට සහභාගි වෙලා තිබුණෙ, වයෝවෘද්ධ හිස නිකට සුදු වුණ බහුතරයක් පිරිසක් වීම නම් අපේ හද රිදෙව්වා. දිවමන්ව ඉන්න අපේ ජ්‍යෙෂ්ඨතම ලේඛකයා ගුණදාස අමරසේකර සූරින් ඇතුළු තවත් ප්‍රවීණ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වෙලා හිටියා.

මාලිනී නම් හැමදාම වගේ ඉතාම සතුටින් ආව සියලු දෙනා අමතමින් සංග්‍රහ කරමින් ආදරය පළ කෙරුවා. ඒක සුන්දර අවස්ථාවක්.

නාමෙල් වීරමුණි ගැන ලියනවා නම් පිටු කිහිපයක් ලියන්නට පිළිවන්. කලා උපාධිධරයෙක්, නීතිවේදියෙක්, රංග ශිල්පියෙක්, නාට්‍ය නිෂ්පාදකවරයෙක්, රංගනය ගැන ආචාර්ය උපාධි ලැබූවෙක්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගෙ "රත්තරං" නාට්‍යයෙ පළමු ප්‍රධාන නළුවා ඔහු. සුගතපාලද සිල්වාගෙ "හරිම බඩු තුනක්", "හෙලේ නගින් ඩෝං පුතා", "හිත හොඳ අම්මණ්ඩි", මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගෙ "ගැහැනියක්" වගෙ නාට්‍යවල ප්‍රධාන භූමිකාව වුණේ ඔහු. සිනමාවෙදිත් වසන්තගෙ "වෙස්ගත්තෝ", "වල්මත්වූවෝ", ටයි මහත්තයගෙ "හාරලක්ෂෙ" විතරක් නෙවෙයි, සේන සමරසිංහගෙ "කස්තුරි සුවඳ", "සදහටම ඔබ මගේ", නිමල්ද සිල්වාගෙ "ලස්සන දවසක්", සෝමරත්න දිසානායකගෙ "පුංචි සුරංගනාවි", එච්ඩීගෙ "මන්දකිණි" වගේ සිනමාපටවලත් ඔහු රංග දායකත්වය දුන්නා. තිස්සගෙනේ පටන් අරන් ටෙලිනාට්‍යයත් ගණනාවකත්.

"නැට්ටුකාරි"ගෙන් පටන් අරන් ‘රාවණසීතාභිලාෂය’ දක්වා ඔහුම නිෂ්පාදනය කරපු නාට්‍යයත් කිහිපයක් තියනවා.

ටික ටික එකතු කරලා, ඉඩකඩම් විකුණලා බොරැල්ලෙ පුංචි තියටර් එක නිර්මාණය කරපු එකත් මෙරට කලාවෙ සංධිස්ථානයක්.

මුලින් කිව්වා වගේ එදා වැඩසටහන නාට්‍යකාරයෝ නළු නිළියො ඈ කලාකරුවො පිරිවරාගෙන නද දෙමින් සිදුවිය යුතු දෙයක් වුණත් ඒක එහෙම වුණේ නැති එක ගැන කම්පාවක් තියනවා. ඒ වගෙ ම එදා වැඩසටහනෙ අදහස් දැක්වුව පිරිසගෙන් නාමෙල් ගැනවත් කෘතිය ගැනවත් නිසි ඇගයීමක් සිදු නොවීමත් සෑහෙන ලොකු අඩුපාඩුවක්.

රටේ සංස්කෘතික භාණ්ඩාගාරයට බොහෝ දේවල් එක් කළ අයෙකු වෙත ගෞරවයක් දෙන එක ඔහු හෝ ඇය මිය ගියාම දෙණ අසල සෙල්ෆි ගහනවට වඩා ගොඩක් මානවීය දෙයක්.

නාමෙල්ම වතාවක් කිව්ව හැටියට ඔහු තමා රටේ ඉන්න වන් ඇන්ඩ් ඔන්ලි නාමෙල්. නාමල්ලා නම් ගොඩක් ඉන්නවා නාමෙල්ලා ඉන්නෙ එක්කෙනයි.

 

571022441 1131774915770740 8842252426570645309 n 

වැඩේ අවසානෙදි මාලනී කිව්ව කතාව හද බිත සරැලි නංවපු හැඟීමක් ගෙනාවා.

කතා නොකෙරුවත් නාමෙල් නාමෙල් මයි - නාමෙල් මගේ ම යි

 

සටහන - සඳුන් ප්‍රියංකර විතානගේ

මෙම ලිපිය 2025.11.02 දින "අනිද්දා" ජාතික පුවත්පතේ මුල්වරට පළ විය.

kemadasa

shungara

Back to top
Go to bottom