lan englan tam

ට්‍රේලර් එක දාලා පැය කිහිපයක් යනකොට නරඹන්නන් මිලියන 30 පැන්නා..“Michael”(2026 Film)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Asanka Hadirampala-

ට්‍රේලර් එක දාලා පැය කිහිපයක් යනකොට නරඹන්නන් මිලියන 30 පැන්නා. දැන් යන්නේ මිලියන එකසිය ගණන්වල. ඒ තමයි මයිකල් ජැක්සන්ට අදටත් තියෙන ජනප්‍රසාදය. ඔහු ගැන නිර්මාපිත චිත්‍රපටය 2026 අප්‍රේල් මාසේ රිදී තිරයට එන්න නියමිතයි.

මේකේ නම "මයිකල්" (Michael). "කිං ඔෆ් පොප්" නමින් හඳුන්වපු මයිකල් ජැක්සන්ගේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ජාෆර් ජැක්සන්. ඔහු තමයි මයිකල්ගේ ඇත්තම බෑණා. අධ්‍යක්ෂණය සම්මානනීය අන්ටුවාන් ෆුකුවාගෙන්.

 

‘Michael’ චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය ( official teaser)

මයිකල්ගේ සංගීතය වගේම චිත්‍රපටයත් ලෝක වාර්තා ඔක්කොම කුඩුපට්ටම් කරගෙන යාවිය කියලා බොහෝදෙනා මත පළකරනවා. එහෙම වුණොත් පුදුම වෙන්න දේකුත් නෑ. ලෝක සංගීතයේ ඒතරම් ජනප්‍රසාදය දිනාගත්තු වෙනත් ප්‍රාසාංගික ශිල්පියෙක් නෑ මං හිතන්නේ. '80, '90 දශක ඊට සාක්ෂි.

ඔහු නැට්ටුක්කාරයෙක් විතරකුත් නෙමෙයි, අතිදක්ෂ ගායකයෙක්. ක්වින්සි ජෝන්ස් කියන ලෝක ප්‍රසිද්ධ සංගීත නිෂ්පාදකයා එක්ක ඔහු නිකං විනෝදයට ගයපු ගීතවල අවශේෂ ශබ්ද අයින් කරලා බලන පර්‍යේෂකයන් දැන් ඉන්නවා. ඔහුගේ ඒ පුහුණු ගායනා පවා හරියට ඔටෝ ටියුන් දැම්මා වගේ නිරවද්‍යයි. ස්වභාවික හඬ නිසා සියුම් සහ අලංකාරයි.

ඔහු ගායනයට එන්නේ වයස අවුරුදු 5ක පොඩි දරුවෙක් හැටියට. ඉතා සැරපරුෂ තාත්තෙකුගේ දරුවන් වුණු ජැකී, ටිටෝ, ජර්මේන්, මාලන් සහ මයිකල් තමයි "ජැක්සන් ෆයිව්" කියන මෝටවුන් බෑන්ඩ් එක අටවගෙන ලෝකයට ගියේ. මෙතැනින් ජර්මේන්ගේ පුත්‍රයා තමයි චිත්‍රපටය තුළදී මයිකල්ගේ චරිතය රඟ දක්වන්නේ. මයිකල් ඔහුගේ ඇත්ත ජීවිතයේ මාමා.

 

jaafar jackson michael jackson biopic 1චිත්‍රපටයේ මයිකල් ජැක්සන්ගේ චරිතයට පණ පොවන ජාෆර් ජැක්සන් (වම) හා මයිකල් ජැක්සන්ගේ තරුණ වියේ ඡායාරූපයක් (දකුණ)

 

මයිකල් නම් වූ අවුරුදු පහේ පොඩි බට්ටා නටලා ගයලා ප්‍රේක්ෂකයන් පිනවනකොට හැමෝම සතුටු වුණත්, පියාගේ නොනවතින අඩම්තේට්ටම් නිසා ඔහුගේ පෞද්ගලික ජීවිතය වෙනස් විදියකට හැඩගැහුණා. ඔහු ට්‍රෝමා තත්වයන් පහුකළ දරුවෙක්.

පසුකාලෙක ඔහු තමන්ගේ හමේ වර්ණයට පවා අකමැති තරුණයෙකු වුණේ ඒ නිසා (වර්ණය වෙනස් කරගත්තේ ඒක නිසා නෙමෙයි තමයි. ඒත් ඔහුට ඕන වුණේ නෑ කළු ජාතිකයන්ව නියෝජනය කරන්න. තාත්තා නිසා). ඔහු "මයිකල් ජැක්සන්" නමැති සුවිශේෂී ගායකයා හැටියට එළියට එන්නේ ඉන් පස්සේයි. ඊළඟට වුණු දේවල් ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නෑ. ඒ තමයි ලෝක සංගීත ඉතිහාසය.

 

2528869 michael jackson 617 409මයිකල් ජැක්සන්ගේ පසුකාලීන ඡායාරූපයක්

 

1982දී ඔහු විසින් එළිදක්වපු "ත්‍රිලර්" තමයි එතෙක් මෙතෙක් ලොව වැඩියෙන්ම අලෙවි වුණු සංගීත ඇල්බමය. ඒක ගණනින් මිලියන 70ක්. ඒ නිසා සංස්කෘතික වශයෙන් ලෝකයම වෙනස් වුණා කිව්වොත් වැරදි නෑ. ඒ ඇල්බම් එකට ග්‍රැමී සම්මාන 8ක් ලැබුණා. අපේ රටේ රූකාන්ත ගුණතිලකලා හැඩගැහෙන්නෙත් ඒ පොප් අහලා.

"ත්‍රිලර්", "ඩේන්ජරස්", "බෑඩ්" වගේ ඇල්බම් ඔහුගේ නම ලොව වටාම අරගෙන ගියා. ඔහුගේ මුළු ඇල්බම් අලෙවිය මිලියන 300කට ආසන්නයි. ඒවායේ ආදායම මිලියන 500කටත් වැඩි යැයි සැලකෙනවා. "ත්‍රිලර්" සංගීත විඩියෝවට විතරක් ඔහු විසින් වැයකළ මුදල ඇ.ඩො.500,000ක්.

ඔහුගේ ජනප්‍රියම යුගය '80 සහ '90. යූටියුබ් එන්නේ 2005දීයි. මයිකල් 2009දී මෙලොවින් සමුගත්තා. ඒත් අද වෙද්දී "ත්‍රිලර්" ගීතය නැරඹුම්වාර බිලියනයකුත් පහුකරලා ඉවරයි. ඒක ඒ තරම් ජනප්‍රසාදයක්. ලෝකයේ එක් මයිකල් ජැක්සන් ෆික්සෙක්වත් නැති එකම රටක්වත් නැතුව ඇති අදටත්. ශ්‍රී ලංකාවේ අදටත් ඉන්නවා.

 මයිකල් ජැක්සන්ගේ "ත්‍රිලර්" ගීතය>>>

 

ඇතැම් චෝදනා තිබුණත් ඒ සියල්ල මැද ඔහුගේ ජනප්‍රියත්වය නොසෙල්වී තිබුණා. ඒක පුදුම වාසනා ගුණයක්. ඔහු කළේ ප්‍රාසාංගික විප්ලවයක්. "මයිකල්" චිත්‍රපටයත් ලෝක චිත්‍රපට ක්ෂේත්‍රයේ විප්ලවයක් කරයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව.

 

540873667 10235816722012940 4028603683039654123 n 1සටහන  - අසංක හදිරම්පෑල

(මෙම සටහන "Asanka Hadirampala" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.)

kemadasa

shungara

Back to top
Go to bottom