-Malintha Vithanage-
"ෆ්‍රැන්කන්ස්ටයින්; නොහොත්, ද මොඩර්න් ප්‍රොමිතියස්" (Frankenstein; or, The Modern Prometheus) කියන්නේ වර්ෂ 1818 දී ඉංග්‍රීසි ජාතික කතුවරියක් වන 'මේරි ෂෙලී' විසින් රචිත ගොතික් ශෛලියේ සුප්‍රකට නවකතාවක්.
වර්ෂ 1818 දී ලංකාව ඉංග්‍රිසින්ගේ යටත්විජිතයකි. මේරි විවාහව සිටියේ සුප්‍රකට කවියෙකු වන පර්සි බයිෂේ ෂෙලී සමඟ ය. ඉංග්‍රිසි සාහිත්‍යයෙහි පර්සි බයිෂේ ෂෙලී කියන්නේ නොමැකෙන සළකුණක්. මේරි ෂෙලී අතින් 'ෆ්‍රැන්කන්ස්ටයින්' නමි මරණයට පත් කළ නොහැකි බුද්ධිමත් රාක්ෂයකු නිර්මාණය වූයේ අපුරු වූ බුද්ධිමය පරිකල්පනය මතිනි. ඇය ෆ්‍රැන්කන්ස්ටයින් නවකතාව ලියන්නේ අවුරුදු 22දීය.
මළ සිරුරුවල විවිධ ශරීර කොටස්, අවයව එකට එකතු කර අසාමාන්‍ය විද්‍යාත්මක අත්හදා බැලීමකින් බුද්ධිමත් මානවයකු නිර්මාණය කරන තරුණ විද්‍යාඥයෙකු වන වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ගේ කතාව ෂෙලීගේ පෑන් තුඩින් සුදු ඩිමයි කොළය මත ලියවිණ. ෆ්‍රැන්කන්ස්ටයින් නිර්මාණය කිරීම පිටුපස මේරිගේ කතාව බොහෝ අය නොදනිති. මේරි යනු එසේ මෙසේ කාන්තාවක නොවේ. ඇය දරුවන් සතරකගේ මවකි. ඇගේ පියා දේශපාලන දාර්ශනික විලියම් ගොඩ්වින් වූ අතර ඇගේ මව දාර්ශනික සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි මේරි වොල්ස්ටන්ක්‍රැෆ්ට් ය.
"ලෝකයේ මැවුම්කරුගේ විශ්මයජනක යාන්ත්‍රණය සමච්චලයට ලක් කිරීමට ගන්නා ඕනෑම මිනිස් උත්සාහයක බලපෑම අතිශයින්ම බියජනක වනු ඇත....."
ඒ මේරිගේ වචනය. ෆ්‍රැන්කන්ස්ටයින් නිර්මාණය කිරීමේ ඉරණම ලියුවේ එලෙසිනි.
වර්ෂ 1815 දී යුරෝපාකරයේ සැරි සරමින් ජර්මනියේ රයින් ගඟ දිගේ ගමන් කළ ෂෙලී 'ෆ්‍රැන්කන්ස්ටයින්' මාලිගයේ සිට කිලෝමීටර් 17ක් දුරින් පිහිටි ගර්න්ෂයිම් හි නතර වූයේ ජොහාන් කොන්රාඩ් ඩිපල් අරුම පුදුම ආශාවන් සතු වූ මිනිසාගේ ජිවිත කතාව සෙවීමට ය. ෆ්‍රැන්කන්ස්ටයින් මාලිගාව අයත් වූයේ සියවසකට පමණ පෙර ජීවත් වූ වෛද්‍යවරයකු සහ ඇල්කෙමිස්ට්වරයෙකු වූ ජොහාන් කොන්රාඩ් ඩිපල්ට ය. ඔහු දේවධර්මය උගත් අයෙකි. ඩිපල් මළ සිරුරු සමඟ අත්හදා බැලීම් සිදු කළේය. එහිදී ඔහු එක් මළ සිරුරක ආත්මය තවත් මළ සිරුරකට මාරු කිරීමට උත්සාහ කළ බව මුලාශ්‍රවල පැවසේ. ඔහු මළ සිරුරු සහ සත්ත්වයන්ගේ මළ සිරුරු කපා කොට නිරික්ෂණය කළේය. ඔහු මරණය නැවැත්විය හැකි බෙහෙතක් සොයන්නට ශ්‍රමය වැය කළා. ඒ අනුව ෂෙලීගේ 'ෆ්‍රැන්කන්ස්ටයින්' නවකතාවේ ලිය වෙන්නේ ඩිපල්ගේ කතා පුවතය. නිසැකවම ඇය විසින් වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් චරිතය ලියන්නේ ඩිපල් නම් වෛද්‍යවරයා මනසේ තබාගෙනය. එමෙන්ම ගැල්වනිස්වාදය පිළිබඳ අත්හදා බැලීම් (මියගිය පටක නැවත පණ ගැන්වීමට විදුලිය භාවිතා කිරීම) ඇගේ ලියවිලි සඳහා දැඩ් සේ බලපෑම් කළහ.
1816 දී, මේරි, පර්සි, ජෝන් පොලිඩෝරි සහ බයිරන් සාමිවරයා හොඳම ත්‍රාසජනක කතාව ලියන්නේ කවුදැයි බැලීමට තරඟයක් පවා පැවැත්වූහ. දින ගණනාවක් කල්පනා කිරීමෙන් පසු, ෂෙලී ෆ්‍රැන්කන්ස්ටයින් ලිවීමට පෙළඹුණේ ජීවය නිර්මාණය කළ විද්‍යාඥයෙකු සිතින් මවාගෙන ඔහු නිර්මාණය කළ දෙයින් භීතියට පත්වීමෙන් පසුවය. අදට වසර 207ක් පැරණි ෆ්‍රැන්කන්ස්ටයින් ඉංග්‍රීසි සාහිත්‍යයේ වඩාත් ප්‍රසිද්ධ කෘතිවලින් එකකි.
රිචර්ඩ් රොත්වෙල් විසින් වර්ෂ 1840 අඳින ලද මේරි ෂෙලීගේ උඩුකය චිත්‍රය
ගොතික් නවකතාවේ සහ රොමෑන්ටික කලා ව්‍යාපාරයේ අංගවලින් පිරුණු එය සාහිත්‍යයට සහ ජනප්‍රිය සංස්කෘතියට සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති අතර, ත්‍රාසජනක කතා, චිත්‍රපට සහ නාට්‍යවල ප්‍රභවය බවට පත්විය. යුග ගණනාවකදි වරින්වර ෆ්‍රැන්කන්ස්ටයින් සිනමාපට නිර්මාණය වන්නේන්නේ ගොතික් සහ රොමැන්තිකවාදයේ චමත්කාරය යුග යුග රැව් දෙමින්මයි.
සටහන - මලින්ත විතානගේ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(මෙම සටහන 'Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)














