lan englan tam

අර්බුදකාරී මොහොත තුළ මනුෂ්‍යත්වය සොයා යෑම - "The Lost Bus" (movie)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage-

යම්කිසි ස්වභාවික අපදාවක් තුළ මනුෂ්‍යයන් හැසිරෙන්නේ කෙසේද? බොහෝවිට මනුෂ්‍යයන් ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී යනුවෙන් හැඳින්වුව ද එය එසේ නොවේ. විපතකදි මනුෂ්‍යයන් සැමවිටම එකිනෙකාට උදවි කරගන්නට පෙළඹෙයි. මෙම වසරේ තිරගත වූ 'The Lost Bus' හොලිවුඩ් සිනමාපටය ආපදා තත්ත්වයක් තුළ මනුෂ්‍යත්වය ග්‍රහණය කරගත් සිනමාකෘතියකි.

 MV5BMGQyMDEyMWEtZjI5OS00MWQ4LTk2ZDAtZjM2ZTE0NDA1MGY1XkEyXkFqcGc. V1

 

සිනමාපටයක් යනුවෙන් හැඳින්වීමට වඩා සිනමාකෘතියක් ලෙස 'The Lost Bus' සිනමාපටය වෙත ආමන්ත්‍රණය කරන්නේ එය සත්‍ය ලෙසම සිදු වූ කතාවක් සිනමානුරූපිව මනුෂ්‍යත්වය රූපයට හසු කර ගන්නට දැරීමෙි ප්‍රතිඵලයේ සාර්ථකත්වය නිසා ය. survival drama ශානරය එසේත් නැතිනම් දිවගලවා ගැනීමේ කතා පුවතක් අඩංගු චිත්‍රපටයක් ලෙස 'The Lost Bus' සඳහා පාදක වූ සත්‍ය සිදුවීමක් තිබේ.

2018 වසරේ දී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ එක් පෙදෙසකට දරුණු ගණයේ ලැවිගින්නක් පැතිරිණි. මෙම ලැව්ගින්න ඉතිහාසගත වන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයට පැමිණි මාරාන්තිකම ලැවිගින්න වශයෙන්. ප්‍රාන්තයේ සෑම නගරයක් පාසාම ක්ෂණයෙක් පැතිර ගිය ලැව්ගින්න සෑම ගොඩනැගිල්ලක්ම, නිවාසයක්ම, යාන වාහන ක්ෂණයෙන් අළු කර දමන්නට වැඩිවෙලාවක් ගත වුණේ නැහැ. මෙම ලැව්ගින්න නිසා දෛනික ජීවිතයේ කටයුතු සියල්ලම අඩපණ වෙනවා. ක්ෂණිකව පාසල් සියල්ල වසා දමනවා. මෙම ලැව්ගින්න අතරවාරයේදී පාසල් බස්රථ රියදුරකු වන කෙවින් මැකේහට දැනගන්න ලැ⁣බෙන්නේ පාසල් ළමුන් 22 දෙනෙකු පාසලෙන් පිටතට යාගත නෙහැකිව අසරණ තත්ත්වයකට මුහුණ පා ඇති බවයි. කෙවින් විසින් පාසල් ළමුන් 22 දෙනා සහ පන්තිභාර ගුරුවරිය නිරුපද්‍රිතව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යාම සිදු කළ යුතුය.

කෙවින් නොබියව ලැවිගිනි ජාලා මධ්‍යයේ මෙම ළමුන් ප්‍රවාහනය කිරීම සිදු කරනමුත් පහසුවෙන් ඔහුට සිදු කරන්නට ලැබෙන්නේ නැහැ. අවට ඇති සියල්ලම ගිනි ජාලාවන් විසින් දවා අළු කර දමද්දි, දහවල රාත්‍රියක් බවට හරවා ඇති කළු දුම් රොටු ද මධ්‍යයේ, සියළුම මාර්ගවල වාහන තදබදයන්ගෙන් පිරෙද්දි ඔහු මෙම ළමුන් ආරක්ෂාකාරිව රැගෙන යන්නේ කෙසේද? යන්න සංවේදි ලෙස චිත්‍රපටය තුළ නිරූපණය වෙනවා.

 

 

සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ 'පෝල් ග්‍රීන්ග්‍රාස්' නම් සම්මානනීය සිනමාපට රැසක් අධ්‍යක්ෂණය කර සිනමාවේ අත්දැකීම් බහුල සිනමාකරුවෙකි. පෝල් මීට පෙර අධ්‍යක්ෂණයයි කළ 'United 93', 'The Bourne Supremacy', 'Green Zone', 'Captain Phillips' වැනි සිනමාපට ප්‍රේක්ෂකාගාරයේ අවධානයට ලක් විය. ඇමරිකානු ලේඛිකාවක 'ලිසී ජොන්සන්' විසින් ලියු 'Paradise: One Town's Struggle to Survive an American Wildfireby' කෘතිය ඇසුරින් චිත්‍රපටයේ තිර පිටපත ලිය තිබේ. ඔස්කාර් සම්මානලාභී විශිෂ්ට රංගධරයකු වන 'මැතිව් මැකෝනාගී' විසින් කෙවින් මැකේ චරිතය සඳහා පණ පොවති. සිනමාපටයේ එක් ව්ශේෂත්වයක් වන්නේ මැතිව්ගේ පුතා සහ මව ද එයාකාරයෙන්ම චරිත සඳහා රඟපෑමයි. කෙවින්ගේ මවගේ සහ පුතාගේ චරිත මැතිව් මව සහ පුතා නිරූපණය කිරීම යනු පරම්පරා තුනක් එකම චිත්‍රපටයක රඟපෑම මෑතභාගයේ සිනමාපටයක දුටු විශේෂතම සිදුවීම්වලින් එකක්.

සැබෑ සිදුවීමෙහි සඳහන්වන්නේ 'කෙවින් මැකේ' විසින් පැය පහක් වැනි දීර්ඝ කාලයක් තුළ දුම සහ ගින්න, අවහිර වූ මාර්ග, විවිධ අනතුරු හරහා කිලෝමීටර් 48 ක් (සැතපුම් 30) පමණ ධාවනය කරමින් පොන්ඩෙරෝසා ප්‍රාථමික පාසලේ ළමුන් 22 දෙනෙකු ඉවත් කිරීමේ මෙහෙයුම සිදු කර ඇත. සිනමාපටයේ නිරූපණය වන සේ කෙවින් පාසල් ළමුන්ද, ගුරුවරිය ද නංවාගෙන යන බස් රථය මාර්ගයේ පසු කරන සෑම සැතපුමක්ම මිනිස් ආත්මය සහ මනුෂ්‍යත්වය පරීක්ෂා කරන තැනක් බවට පත් වේ. නරඹන්නන් හද කම්පා කරවන, ආත්මය කම්පා කරවන ගමනකට රැගෙන යන මෙම ප්‍රවාහය විසින් ආතතිය ද ජීවිතය පිළිබඳ ඇති අනියතබව ද චිත්‍රපටය වෙත එක් කර ඇත්තේ අපුරු ස්ථරයක් සේය. ලැව් ගින්නේ රස්නය දනවන 'The Lost Bus' යනු ඇමරිකානු ලැවිගිනි ඉතිහාසයෙහි සිදු වූ එක් සත්‍ය කතාවක් පමණක් නොවේ. එය 2025 වසරේ තිරගත සිනමාපට අතරින් නූතන මනුෂ්‍යත්වයේ කැඩපතක් පිළිබිඹු කළ සිනමාකෘතියකි.

 

476237625 2101514566935849 5297727973837240105 n

කර්තෘ - මලින්ත විතානගේ

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 2025 නොවැමිබර් 06වන දින සරසවිය පුවත්පතේ මුල්වරට ප්‍රකාශයට පත් විය.)

 

 

(මෙම ලිපිය "Malintha Vithanage" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom