ලොව පුරා ප්‍රේක්ෂක ගෞරවයට පාත්‍ර වූ ප්‍රකට හංගේරියානු සිනමාකරුවෙකු වන බෙලා තාර් (Béla Tarr) අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මිය යන විට ඔහු 70 වැනි වියේ පසු විය.
ඔහුගේ “Damnation”(1988), “Sátántangó”(1994), The Turin Horse (2011).. වැනි චිත්‍රපට ලොව පුරා බොහෝ අවධානයට ලක් වූ සිනමා නිර්මාණයන් වේ.
මන්දගාමී සිනමා (slow cinema) ප්‍රවණතාවයේ පුරෝගාමියෙකු ලෙස බෙලා තාර් සැලකෙන අතර,
චිත්‍රපට නිර්මාණයේදී තමන්ටම අනන්‍ය වූ රිද්මයක් පවත්වාගෙන ගිය සිනමාකරුවෙකු වන බෙලා තාර්ගේ බොහෝ චිත්‍රපට කළු සුදු චිත්‍රපට ලෙසින් ඉදිරිපත් වූ අතර දිගු කාලයක් තිස්සේ දිග හැරෙන දර්ශනත් ඔහුගේ සිනමාවට අනන්‍ය ලක්ෂණයක් විය.
ඔහුගේ වඩාත් ප්‍රකට වූ චිත්‍රපටයක් වන 1994 වර්ෂයේ තිර ගත වූ “Sátántangó” චිත්‍රපටය පැය 7 ක ධාවන කාලයකින් යුත් එකක් විය.
හංගේරියාවේ පැවති කොමියුනිස්ට් පාලනයේ බිඳවැටීමෙන් පසු ඇති වූ අරාජිකත්වය ඔහුගේ නිර්මාණවල නිතර දක්නට ලැබුන අතර, මිනිස් පැවැත්මේ ශුන්‍යතාවය වැනි තේමාවන් ඔහුගේ නිර්මාණ වලට පාදක විය.
බෙලා තාර්ගේ අවසන් වෘත්තාන්ත චිත්‍රපටය වන්නේ 2011 වර්ෂයේ තිරගත වූ ‘The Turin Horse’ චිත්‍රපටයයි.
නීට්ෂේ (Nietzsche) සම්බන්ධ කතාවකින් ආභාසය ලැබූ එම චිත්‍රපටය, මහා විනාශයක පෙරනිමිති පළ කරන දරුණු සුළි කුණාටුවකට මැදිව පීඩා විඳින ගොවියෙකු සහ ඔහුගේ දියණිය වටා ගෙතී ඇත.
එම චිත්‍රපටයෙන් පසු ඔහු තමන්ට පැවසීමට ඇති සියළු දේ පවසා අවසන් බව පවසමින් පසුකාලීනව සිනමාකරණයෙන් දුරස් වි කල් ගත කළේය.









