ලෝක ප්‍රකට යුරෝපීය ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත (EDM) උළෙලක් වන “Tomorrowland" හි ප්‍රථම ආසියානු සංස්කරණය එළඹෙන දෙසැම්බර් මාසයේදී තායිලන්තයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙනවා.
පසුගියදා මේ පිළිබඳව 'ටුමෝරෝලෑන්ඩ්' කණ්ඩායම නිවේදනය කොට තිබුනේ ගෝලීය සංගීත ක්ෂේත්‍රය, නවෝත්පාදනය සහ අත්දැකීම් පාදක කරගත් සංචාරක කර්මාන්තය කෙරෙහි තායිලන්තය දක්වන වර්ධනය වෙමින් පවතින බලපෑම හේතුවෙන් මෙම තෝරාගැනීම සිදු කළ බවයි.
බෙල්ජියම් ජාතික මනූ සහ මිෂෙල් බීර්ස් (Manu and Michiel Beers) යන සහෝදරයන් දෙදෙනා විසින් මීට වසර 20කට පෙර ආරම්භ කරන ලද 'ටුමෝරෝලෑන්ඩ්', ලොව වඩාත්ම සුවිශේෂී EDM සංගීත සැමරුමක් බවට පත්ව ඇති අතර, බෙල්ජියමේ වාර්ෂිකව පැවැත්වෙන එහි ප්‍රධාන උළෙල, නිර්මාණශීලී වේදිකා අලංකරණය සහ ලොව පුරා සංගීත ලෝලීන් ආකර්ෂණය කරගන්නා උද්යෝගිමත් සාද සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා.
ඒ අනුව මෙවර දෙසැම්බර් 11 සිට 13 දක්වා තායිලන්තයේ පතායා (Pattaya) වෙරළබඩ නගරයේ පැවැත්වෙන මෙම උළෙල සඳහා දිනකට 50,000කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරනු ලබනවා.
ප්‍රවේශපත්‍ර සඳහා පූර්ව ලියාපදිංචිය ජනවාරි 8 වැනිදා සිට ආරම්භ වන අතර, දින තුනම ආවරණය වන සම්පූර්ණ උළෙල සදහාම ප්‍රවේශ පත්‍රයක් (full madness pass) බාත් 12,500ක් (ඇමෙරිකානු ඩොලර් 400ක් පමණ) වන අතර, එක් දිනක් සඳහා ප්‍රවේශපත්‍රයක මිල බාත් 5,100කි. උළෙලේ තේමාව සහ සහභාගී වන ශිල්පීන් පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මීට පෙර කුඩා පරිමාණයේ tommrowland උත්සව ආසියානු නගරවල පවත්වා තිබුණ ද බෙල්ජියමේ පවත්වන මට්ටමේ පූර්ණ සංගීත උළෙලක් ආසියානු මහාද්වීපයේ පවත්වන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්. මෙම උළෙල වසර පහක් පුරා පැවැත්වීම සඳහා 'ටුමෝරෝලෑන්ඩ්' සමඟ ගිවිසුම් ගත වී ඇති අතර, එම කාලය තුළ බාත් බිලියන 21ක ($673m) ආදායමක් අපේක්ෂා කරන බව තායි මාධ්‍ය වාර්තා කරයි.
මෑත වසරවලදී සජීවී සංගීත ප්‍රසංග සඳහා තායිලන්තය ප්‍රබල ගමනාන්තයක් බවට පත්ව ඇති අතර, පසුගිය වසරේ 'Electric Daisy Carnival' සහ 'Creamfields' වැනි ජාත්‍යන්තර සංගීත උළෙලවල් සඳහා එය සත්කාරකත්වය දැක්වීය.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රකට K-pop කණ්ඩායමක් වන Blackpink හි ලෝක සංචාරයේ එක් නැවතුමක් ලෙස බැංකොක් නුවර තෝරාගෙන තිබුණි.
එමෙන්ම තායිලන්තයේ දේශීය සංගීත සහ කලා උළෙලක් වන 'Wonderfruit' ද මේ වන විට වසරකට දස දහස් සංඛ්‍යාත පිරිසක් ආකර්ෂණය කරගනිමින් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
මූලාශ්‍රය - BBC









