2025 රාජ්‍ය සංගීත සම්මාන උලෙළ ආචාර්ය වික්ටර් රත්නායක සූරීන්ගේ ප්‍රධානත්වයන් තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් උත්සව ශාලාවේ දී පසුගියදා(07) පස්වරුවේ පැවැත්විණි.
2021, 2022, 2023 සහ 2024 වර්ෂවලට අදාළව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යය නියෝජනය කරමින් ඉදිරිපත් වූ නිර්මාණ අතුරින් ප්‍රශස්ත නිර්මාණ 43 ක් අගයා කුසලතා සහතික සහ සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.
ඒ අනුව ප්‍රශස්තම ගී තනු හා සංගීත නිර්මාණය, ප්‍රශස්තම සරල ගීත ගායනය, ප්‍රශස්තම ගේය පද රචනය, ප්‍රශස්තම නාද ශික්ෂණය, ප්‍රශස්තම ළමා ගී පද රචනය, ප්‍රශස්තම ළමා ගීත ගායනය, ප්‍රශස්තම ළමා ගී තනු හා සංගීත නිර්මාණය, ප්‍රශස්තම ගීත දෘෂ්‍යකරණය, ප්‍රශස්තම ශාස්ත්‍රීය වාදනය සහ ප්‍රශස්තම සම්මිශ්‍රණ වාදනය ඇතුළු අංශ රැසක් ඔස්සේ කුසලතා සහතික සහ සම්මාන ප්‍රදානය කෙරිණි.
මෙවර සම්මාන ප්‍රදානයේ 'සංගීතාභිමානී' යාවජීව සම්මානය දිවංගත කලාසූරී ලතා වල්පොල මහත්මිය, කලාසූරී ගෞරීෂ්වරී රාජප්පන් මහත්මිය සහ ප්‍රවීණ සංගීතවේදිනී රම්‍යා ද ලිවේරා පෙරේරා මහත්මිය වෙත පිරිනැමිණි.
මෙහිදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අදහස් දක්වමින් කියා සිටියේ සම්මාන උලෙළවල දීප්තිය අඩුකර ත්‍යාග මුදල් වැඩි කිරීමටත්, වැඩමුළු ආදිය ඔස්සේ ඉහළ රසවින්දනයක් සහිත පුරවැසියන් බිහි කිරීමටත් සිය අවධානය යොමුව ඇති බවයි.
මෙහිදී ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ නව සංගීත නිර්මාණ, නිල වශයෙන් ලියාපදිංචි කිරීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් අභිනවයෙන් ස්ථාපිත කරන ලද 'ශ්‍රී ලාංකේය ගීත ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතිය' (Song Registration Portal of Sri Lanka) එළිදැක්වීම ද සිදුකෙරිණි.
මෙම දත්ත පද්ධතිය සංඛ්‍යාංක සංරක්ෂණ පද්ධතියක් (Digital Platform) වන අතර ගී පද රචකයින්, සංගීත නිර්මාණකරුවන් සහ ගායන ශිල්පීන්ට තම මුල් නිර්මාණ ඉදිරිපත් කර, ඒ සඳහා පිළිගැනීම සහ අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් ආරක්ෂිත සහ ක්‍රමවත් ක්‍රියාවලියක් මෙමගින් සලසා දෙනු ලැබේ.
මෙම දත්ත පද්ධතිය හරහා කලාකරුවන්ට තම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගත හැකි අතර, නීතිමය, වාණිජ සහ ලේඛනාරක්ෂක අරමුණු සඳහා අනාගතයේදී මෙම දත්ත පරිශීලනය කිරීමට ද අවස්ථාව ලැබෙනු ඇත.
නිර්මාණාත්මක කෘති විධිමත් ලෙස ලේඛනගත කිරීම, විනිවිදභාවය සහ වෘත්තීයභාවය ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ සංගීත කර්මාන්තය ශක්තිමත් කිරීම උදෙසා මෙය වැදගත් පියවරකි.
https://srpsl.culturaldept.gov.lk ලිපිනය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකියි.
මෙම උත්සව අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රවර්ධන සහ විදේශ) ධම්මිකා කේ. විජයසිංහ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එස් දිල්හානි, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, රාජ්‍ය සංගීත අනුමණ්ඩලයේ සභාපති නදීක ගුරුගේ යන අයද, ප්‍රවීණ කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.
මතු දැක්වෙන්නේ පසුගියදා පැවති රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ (2025) විශේෂ අවස්ථා කිහිපයක්>>
(ඡායාරූප මත click කිරීමෙන් ප්‍රමාණය විශාල කොට නැරඹිය හැක.)
https://www.mirrorarts.lk/news/12177-2025-24#sigProId94237c3bb6









