ලොව සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වූ වැලන්ටිනෝ ගරවානි (93) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පදනම නිවේදනය කොට සිටිනවා.
වැලන්ටිනෝ පදනම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ඔහු රෝමයේ පිහිටි සිය නිවසේදී සමීපතමයින් පිරිවරා සිටියදී සාමකාමීව අභාවප්‍රාප්ත වූ බවයි.
20 වන සියවසේ විලාසිතා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ වැලන්ටිනෝගේ නිර්මාණ සම්මාන ගණනාවකට ද පාත්‍ර විය.
1960 වසරේදී 'වැලන්ටිනෝ' විලාසිතාගාරය (Valentino Fashion House) සම-ස්ථාපනය කළ ඔහු, ජෝර්ජියෝ අර්මානි සහ කාල් ලැගර්ෆෙල්ඩ් වැනි ක්ෂේත්‍රයේ ඉහළම පෙළේ නිර්මාණකරුවන් අතර වැජඹුණේය.
එලිසබෙත් ටේලර්, නැන්සි රේගන්, ෂැරන් ස්ටෝන්, ජූලියා රොබර්ට්ස් සහ ග්විනෙත් පැල්ට්‍රෝ වැනි ලෝක ප්‍රකට පුද්ගලයින් සහ තරු රැසක් ඔහුගේ නිර්මාණවලින් හැඩ විය.
ස්පාඤ්ඤ සංචාරයකින් ආභාෂය ලබා ගනිමින් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගත් ඔහු "වැලන්ටිනෝ රතු" භාවිතා කරමින් සුප්‍රසිද්ධ ෆියෙස්ටා ඇඳුම එළිදැක්වීමත් සමඟ සිය සන්නාමය ගෝලීය අවධානය දිනා ගැනීමට සමත් විය.
2008 දී වැලන්ටිනෝගේ අවසන් එකතුව සඳහා ද සියලුම නිරූපිකාවන් අවසන් තරගයට රතු ඇඳුම් ඇඳ සිටීමත් විශේෂත්වයකි.
2013 ජුනි මාසයේදී බ්‍රිතාන්‍ය-ඇමරිකානු මූල්‍යකරුවෙකු වන ක්‍රිස්ටෝපර් ඕ'නීල් සමඟ විවාහ වූ විට ස්වීඩනයේ මැඩලීන් කුමරියගේ මංගල ඇඳුම නිර්මාණය කළේ ද වැලන්ටිනෝ විසිනි.
2023 දෙසැම්බර් මාසයේදී, ලන්ඩනයේ රාජකීය ඇල්බට් ශාලාවේ පැවති බ්‍රිතාන්‍ය විලාසිතා සම්මාන උළෙලේදී ඔහු විශිෂ්ට ජයග්‍රහණ සම්මානයෙන් ද පිදුම් ලැබිණි.
වැලන්ටිනෝගේ අවමංගල්‍ය දේව මෙහෙය ශාන්ත මරියා බැසිලිකාවේ දී පවත්වන්නට නියමිත බවයි වාර්තා වන්නේ.
මූලශ්‍ර - adaderana









