‘අලිමංකඩ’, ‘A Comman Man’, ‘According to Mathew’... වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ දේශීය සිනමාවේ මෙන්ම හොලිවුඩ් සිනමාවේද අත්දැකීම් බහුල, මෙරට ප්‍රවීණතම සිනමාකරුවෙකු වන චන්ද්‍රන් රත්නම්ගේ නවතම සිනමා නිර්මාණය “A Caged Bird” ළඟදීම තිරගත වීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ ශ්‍රී ලාංකික තරුණියක් වූ රිසානා නෆීක් (Rizana Nafeek) ගේ සත්‍ය ජීවිත කතාව ඇසුරිනුයි.
සවුදි අරාබියේ ගෘහ සේවයට ගිය ඒ වන විට වයස අවුරුදු 18 වත් සම්පූර්ණ වී නොතිබුණු තරුණියක් වන ඇයට අත්වූ ඛේදණීය සිදුවිමක් වටා චිත්‍රපටයේ කතාව ගොඩනැගී තිබෙනවා.
චිත්‍රපටයේ රිසානාගේ චරිතය නිරූපණය කරන්නේ සිනමාවට හඳුන්වාදෙන නිළි විදුෂිකා රෙඩ්ඩි විසිනුයි.

එමෙන්ම ඔස්කාර් සම්මාන ලාභී ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පියෙකු වන ජෙරමි අයන්ස් (Jeremy Irons) සහ ජනප්‍රිය දකුණු ඉන්දීය නිළියක වන වරලක්ෂ්මි සරත්කුමාර් ද මීට රංගනයෙන් දායක වී තිබීම විශේෂත්වයක්.
ඔස්කාර් සම්මාන ලාභී හොලිවුඩ් නළු ජෙරමි අයන්ස් (වම) සහ දකුණු ඉන්දීය නිළියක වන වරලක්ෂ්මි සරත්කුමාර් (දකුණ)
“A Caged Bird” චිත්‍රපටය සඳහා නිෂ්පාදන දායකත්වය දරන්නේ සුමති ස්ටූඩියෝස් වෙනුවෙන් ජගත් සුමතිපාල විසිනුයි. ඒ අනුව මෙම චිත්‍රපටය හරහා සුමති ස්ටූඩියෝස් අන්තර්ජාතික තලයට සිය සිනමා නිර්මාණ ගෙන යාමට ද අපේක්ෂිතයි.









