lan englan tam

පුවත්

ජාතික සිනමා පාසලක් ආරම්භ කිරීමට සාකච්ඡා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට ජාතික සිනමා පාසලක් ස්ථාපිත කිරීම සඳහා මූලික සාකච්ඡාවක් පසුගියදා (22)කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් පැවැත්විණි.

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ගරු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය ද සහභාගි විය.

ජාතික චිත්‍රපට සංස්ථාව, රාජ්‍ය සිනමා අනු මණ්ඩලය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, කලා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, අංග රචනා ශිල්පීන්ගේ සංසදය, සාක් සංස්කෘතික මධ්‍යස්ථානය, සිනමා අධ්‍යයනය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී විය.

 

 

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් මෙන්ම සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් සහ ආචාර්යවරු ජාතික සිනමා පාසලක් ස්ථාපිත කිරීමට අදාළව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.‍

මෙම සිනමා පාසල සිනමාව පිළිබඳ දැනුම ලබාදීමෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික චිත්‍රපට නිර්මාණකරුවන් බිහිකරන පාඨමාලාවන්ගෙන් සමන්විත ආයතනයක් විය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි. එසේම මෙම සිනමා පාසල අන්තර්ජාතික සිනමා පාසැල්වල ප්‍රමිතීන්ට අනුකූලව පවත්වා ගැනීමේ අවශ්‍යතාවත් මෙහිදී සාකච්ඡා විය.

සිනමා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ජාතික සිනමා පාසලක් ස්ථාපිත කිරීම පිළිබඳ දිගුකලක් මුළුල්ලේ කථිකාවක් පැවතිය ද තවමත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බැවින් සියලු අදාළ පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ පවතින සම්පත්වලින් එය ආරම්භ කිරීමත් අනතුරුව ක්‍රමිකව එය ශක්තිමක් කිරීමේත් අවශ්‍යතාව සංසදයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 

624341951 1270224438586686 5310311812778747264 n 1

 

මේ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික චිත්‍රපට සංස්ථාවේ දැනටමත් පවතින සම්පත් යොදාගනිමින් මෙම ජාතික සිනමා පාසල ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.  ඊට අදාළ නෛතික රාමුව සකස් කිරීමත් අවශ්‍ය මූලික අනුමැතීන් ලබා ගැනීම ඇතුළු මූලික ඉදිරි පියවර සකස් කිරීම සඳහාත් කමිටුවක් ස්ථාපිත කිරීම මෙහිදී සිදුවිය.

ඒ අනුව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය, ශ්‍රී ලංකා පදනම් ආයතනය, ජාතික චිත්‍රපට සංස්ථාව, රාජ්‍ය සිනමා අනු මණ්ඩලය සහ සිනමා ක්ෂේත්‍රයේ නියෝජිතයන් ඇතුළත් වන පරිදි තාක්ෂණික කමිටුවක් මෙහිදී ස්ථාපිත කෙරිණි.

පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය සීතා බණ්ඩාර, රාජ්‍ය සිනමා අනු මණ්ඩලයේ සභාපති ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය කෞෂල්‍ය කුමාරසිංහ ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරමින් පිරිසක් මෙම කමිටුවට පත්කර ගැනීම සිදුවිය.

එසේම මෙම සිනමා පාසලේ විෂය මාලාව ඇතුළු අධ්‍යයන කටයුතු සැලසුම් කිරීම සඳහා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත තවත් කමිටුවක් ස්ථාපිත කිරීමත් සිදුවිය.

 

624305034 1270224911919972 5512172896882385864 n

 

 

එසේම, දැනට අක්‍රීයවී ඇති කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල (International Film Festival, Colombo) මේ වසරේදී නැවත ආරම්භ කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය.

ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ දිගුකාලීනව ස්ථාවර ලෙස මෙම සිනමා උළෙල පවත්වාගෙන යාමට අවශ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමටත් මෙහිදී එකඟත්වය පළ විය. මෙම සියලු කටයුතු සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට සූදානම් බව මෙහිදී අදහස් දක්වමින් කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා සඳහන් කළේය.

මේ අතර චිත්‍රපට නිෂ්පාදන කටයුතු සඳහා නවීන තාක්ෂණයෙන් යුතු චිත්‍රාගාර සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය. කොළඹට නුදුරින් සුදුසු භූමි භාගයක මෙය ඉදිකිරීමේ අවශ්‍යතාවයත් ඒ අනුව ගත යුතු ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය.

 

624398645 1270224708586659 5454711143488951887 n

 

කලා හා සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, නිතිඥ සුසන්ත දොඩාවත්ත, නිතිඥ නිලන්ති කොට්ටහච්චි, රුවන් මාපලගම, සුගත් වසන්ත ද සිල්වා, නිතිඥ හිරුනි විජේසිංහ, දිනේෂ් හේමන්ත සහ උපුල් කිත්සිරි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද මෙම රැසවීමට සහභාගී විය.

මූලාශ්‍රය - parliment of srilanka

kemadasa

shungara

Back to top
Go to bottom