ලෝක සංගීත ක්ෂේත්‍රයේ ඉහළම සම්මාන උළෙල ලෙස සැලකෙන ග්‍රැමී සම්මාන උළෙලේ 68 වන දිගහැරුම ඊයේ (01) දිනයේ ලොස් ඇන්ජලීස් නුවර Crypto.com Arena හිදී නිමාවට පත් වූ අතර,
මෙවර සම්මාන උළෙලේදී 'හොඳම ශ්‍රව්‍ය කෘතිය, කථනය සහ කථාන්දර පටිගත කිරීම '(Best Audiobook, Narration and Storytelling recording) යන අංශයේ සම්මානය දිනාගනිමින් ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා (Dalai Lama) තුමන් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරිමට සමත් විය.
මේ වන විට 90 වන වියේ පසු වන දලයි ලාමා තුමන් හට මෙම සම්මානය හිමි වූයේ උන්වහන්සේගේ 'භාවනා ශ්‍රව්‍ය ප්‍රයෝග' (“Meditations: The Reflections of His Holiness The Dalai Lama”) නැමැති නිර්මාණය වෙනුවෙනි.
මෙවර පළමු වරට ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබූ සුපිරි සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් සමඟ දලයි ලාමා තුමන්ද මෙලෙස කාගේත් අවධානයට ලක් විය.
දලයි ලාමා තුමන් වෙනුවෙන් සම්මානය පිළිගත් සංගීතඥ රූෆස් වේන්රයිට්,
"හොඳයි, පැහැදිලිවම මම දලයි ලාමා නෙවෙයි," යනුවෙන් විහිළුවක් කරමින්, මෙම නිර්මාණය පාදක වී ඇති ප්‍රඥාවන්ත දර්ශනය අගය කළේය.
මැගී රොජර්ස් සහ ඇන්ඩ්‍රා ඩේ වැනි ශිල්පීන්ගේ දායකත්වයෙන් යුත් මෙම ඇල්බමය, හින්දුස්ථානී ශාස්ත්‍රීය සංගීත ආභාසය සහ සිහිබුද්ධිය (mindfulness), සමගිය හා සෞඛ්‍යය පිළිබඳ මෙනෙහි කිරීම්වල සුසංයෝගයකි.
දලයි ලාමා තුමන් මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙම අංශය යටතේ නිර්දේශව සිටි අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෙටාන්ජි බ්‍රවුන් ජැක්සන් (Ketanji Brown Jackson) සහ සුප්‍රකට ඉදිරිපත් කරන්නෙකු වන ට්‍රෙවර් නෝවා (Trevor Noah) වැනි ප්‍රබල තරගකරුවන් අභිබවා යමින් විමද තවත් විශේෂත්වයකි.









