ලෝක සංගීත ක්ෂේත්‍රයේ ඉහළම සම්මාන උළෙල ලෙස සැලකෙන ග්‍රැමී සම්මාන උළෙලේ 68 වන දිගහැරුම ඊයේ (01) දිනයේ ලොස් ඇන්ජලීස් නුවර Crypto.com Arena හිදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
සම්මාන කාණ්ඩ 95ක් යටතේ පැවැත්වුණු මෙම උළෙලේ වැඩිම ගෞරව දිනා ගැනීමට කෙන්ඩ්‍රික් ලැමර් (Kendrick Lamar) සමත් වූයේ වසරේ හොඳම ගීතය ඇතුළු සම්මාන පහක් තමන් සතු කරගනිමිනි.
හොඳම ගීත ඇල්බමයට හිමි සම්මානය පුවර්ටෝ රිකානු රැප් ගායකය බෑඩ් බනී (Bad Bunny) දිනාගනිද්දී, වසරේ හොඳම ගීතයට හිමි සම්මානය බිලී අයිලිෂ්ගේ වයිල්ඩ්ෆ්ලවර් (wildflower) ගීතයට හිමිවිය.
සම්මාන උළෙලේ සිය ස්තූති කතාව යොදා ගෙන රැප් ගායක බැඩ් බනී මෙන්ම, ඇමරිකානු ගායිකා බිලී අයිලිෂ් ද ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ සංක්‍රමණික විරෝධී මර්දනය ප්‍රසිද්ධියේ විවේචනය කළාය.
ඇමරිකානු ගායිකා බිලී අයිලිෂ් 68 වන ග්‍රැමී සම්මාන උළෙලේදී අදහස් දක්වමින්
"මට දැනෙන කෘතඥතාව ගැන වගේම ඇත්තටම මට කිසිවක් කිව යුතු නැහැ කියලයි හිතෙන්නේ, නමුත් සොරාගත් භූමියක කිසිවෙකු 'නීති විරෝධී' නොවන බව කිව යුතුයි," යනුවෙන් අයිලිෂ් පැවසුවාය.
"දැන් මොනවද කියන්න ඕනේ, මොනවද කරන්න ඕනේ කියලා හිතාගන්න අමාරුයි. මේ ශාලාව තුළ මට ලොකු බලාපොරොත්තුවක් දැනෙනවා.
මට හිතෙන්නේ අපි දිගටම සටන් කළ යුතුයි, හඬ නැගිය යුතුයි සහ විරෝධය දැක්විය යුතුයි කියායි. අපේ හඬ ඇත්තටම වැදගත්, වගේම මිනිස්සුත් වැදගත්," යැයි 24 හැවිරිදි මෙම කලාකාරිනිය වැඩිදුරටත් සඳහන් කළාය.
සම්මානය දිනා ගැනීමෙන් පසු බැඩ් බනී (Bad Bunny) සිය කතාව ආරම්භ කළේම එක්සත් ජනපද සංක්‍රමණ සහ රේගු බලාත්මක කිරීමේ ඒකකය (ICE) ඉවත් කරන ලෙස ("ICE out") පවසමිනි.
"අපි ම්ලේච්ඡයෝ, සත්තු හෝ පිටස්තරයෝ නෙවෙයි. අපි මිනිස්සු, අපිත් ඇමරිකානුවන්," යැයි ඔහු දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේය.
බැඩ් බනී (Bad Bunny) 68 වන ග්‍රැමී සම්මාන උළෙලේදී අදහස් දක්වමින්
"මම දෙවියන්ට ස්තූති කරන්න කලින් කියන්නේ: ICE ඉවත් කරන්න," යනුවෙන් බැඩ් බනී පැවසීය.
ඔහු තවදුරටත් මෙසේ ද සඳහන් කළේය: "අපි ම්ලේච්ඡයෝ නෙවෙයි, අපි සත්තු නෙවෙයි, අපි පිටසක්වලයෝ නෙවෙයි. අපි මිනිස්සු, අපිත් ඇමරිකානුවන්." යනුවෙනි.
බිලී අයිලිෂ්ගේ "Wildflower" ගීතය (ඇයගේ Hit Me Hard and Soft, 2024 ඇල්බමයට ඇතුළත්) ලොව පුරා විචාරක පැසසුමට ලක්ව ඇති අතර, එය 2025 වසරේ Apple Music සහ Spotify හරහා වැඩිම පිරිසක් ශ්‍රවණය කළ ගීතයක් බවට ද පත්විය.
විචාරකයන් සහ හඬ පුහුණුකරුවන් මෙම නිර්මාණයේ ඇති හැඟීම්බර ගැඹුර, ස්වභාවික ගායන ශෛලිය (raw vocals) සහ එහි ඇති සූක්ෂ්ම නිෂ්පාදන තාක්ෂණය බෙහෙවින් අගය කර ඇත.
මූලාශ්‍රය - adaderana









