ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්ෂේත්‍රය නව මාවතකට යොමු කළ ප්‍රවීණ විද්‍යාඥයෙකු මෙන්ම හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා ඊයේ (23) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා සියවසක් (අවුරුදු 100) ආයු වළඳා සිටියේය.
1924 අගෝස්තු 4 වන දින උපත ලැබූ රාජා ද සිල්වා මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ලංකා සහ ලන්ඩන් විශ්වවිද්‍යාලවලින් රසායන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත් ඒ මහතා, 1949 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එක් වූයේ එම දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූ ප්‍රථම විද්‍යාඥයා වශයෙනි. පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කලා ඉතිහාසය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ගත් ඒ මහතා 1967 වසරේ සිට 1979 දක්වා පුරාවිද්‍යා කොමසාරිස් ධූරය හොබවමින් මෙරට උරුමය රැක ගැනීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.
ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ සේවාවන් අතර සීගිරි සිතුවම් සංරක්ෂණය සදහා ලබා දුන් දායකත්වය සුවිශේෂී වේ.
එනම් ,1967 වසරේදී සීගිරි සිතුවම්වලට එල්ල වූ විනාශකාරී ප්‍රහාරයෙන් පසු එම සිතුවම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රසායන විද්‍යාඥයෙකු ලෙස ඔහු දැක්වූ දායකත්වය අතිමහත්ය. ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි මහතා සමඟ එක්ව එම වටිනා උරුමය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමට ඔහු කැප විය.
ආචාර්ය රාජා ද සිල්වා විසින් ඉදිරිපත් කළ සීගිරිය පිළිබඳ නව මතවාදය ඉතිහාසඥයන් අතර බොහෝ කතා බහට ලක් වූ අතර, සීගිරිය යනු රාජකීය බලකොටුවක් නොව මහයාන-ථේරවාද බෞද්ධ ආරාම සංකීර්ණයක් බවත්, එහි වූ සිතුවම්වලින් නිරූපණය වන්නේ තාරා දේවිය ඇතුළු දිව්‍යමය ස්වරූපයන් බවත් පෙන්වා දෙමින් ඔහු "Sigiriya and its Significance" කෘතිය ඉදිරිපත් කරන ලදී.
එමෙන්ම ඉබ්බන්කටුව සහ පොම්පරිප්පු කැණීම් මගින් මෙරට ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මෙගාලිතික සුසාන භූමි පිළිබඳව මුල්වරට ගවේෂණය කරමින් එම ඉතිහාසය ලොවට හෙළි කිරීමට ඔහු පුරෝගාමී විය.
මෙරට ජාතික ලාංඡනය සහ ජාතික ධජය නිර්මාණය කිරීමේදී ද සිය විද්වත් උපදෙස් ලබා දෙමින් ඔහු ජාතික මෙහෙවරකට දායක විය.
ඡායාරූපය - Anuradha Dullewe Wijeyeratne
මූලාශ්‍රය - Institute of Archaeology and Heritage Studies නිළ ෆේස්බුක් පිටුව ඇසුරිනි.









