lan englan tam

පුවත්

ගිනිගත් තරුණ්‍යයේ හදවත් නිවාලන "ධාරා" ලඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමන්ට හා තම උගත්කමට නිසි තැන නොලැබ කල්මරමින් ලතැවුලට පත්ව සිටින තරුණ සිත් ප්‍රචණ්ඩත්වයට යොමුවීමට ගතවන්නේ නිමේෂයකි. දීර්ඝ කාලීනව විඳි පීඩාව සහ අව වරප්‍රසාදිත බව තවදුරටත් දරාගැනීමට නොහැකි වූ තැන , එම තත්ත්වයන්ට එරෙහි වන්නට ඔවුන් පෙළ ගැසෙන්නේ නිරායාසයෙනි. පවතින මෙම තත්වය වෙනස් කිරීම ආවේගශීලි ඔවුනගේ එකම අරමුණයි වෙයි.

එලෙස සිතමින් පෙළ ගැසුණු යොවුන් වියේ පසුවන ශාරදාත් සම වයසේ සහෝදර සහෝදරියන් කණ්ඩායමක් සන්නද්ධව එක්වී, එක්තරා ප්‍රාදේශීය නගරයක පිහිටි කුඩා පොලිස් මුරපොළකට පහර දී එහි බලය අත්පත් කර ගැනීමටත්, එම පළාතේ පරිපාලනය සියතට ගැනීමටත් ඔවුන් බලාපොරොත්තු වෙයි. මෙලෙස අනපේක්ෂිත ලෙස රටපුරා එවැනි ප්‍රහාරයන් එල්ල කර රටේම බලය අත්පත් කර ගැනීම තරුණ විප්ලවාදීන්ගේ අරමුණයි.

 

636846489 3437483499736795 7894980839265343646 n

 

මෙවන් වූ පසුබිමක් සහිත කතා පුවතක් රැගත් " ධාරා" නමින් නම් වූ නවතම සිනමාපටයක් ප්‍රේක්ෂකයා හමුවට නුදුරේම ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින්නේ, අපට සිටින ප්‍රවීණ නිර්මාණශීලී මෙන්ම සම්මානනීය අධ්‍යක්ෂවරයෙකු වූ අනුරුද්ධ ජයසිංහයි.

ටෙලිනාට්‍ය හා චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු ලෙසින් ක්ෂේත්‍රයට එක්වන අනුරුද්ධ , " අභිසමය" , " තට්ටු ගෙවල්" , "දහස් ගව්දුර ", "මීදුම " , "ධවල කන්‍යා", "විය සිදුර","සඳ දෙව් දියණි", "මායා රංග","මායා වාස", "කවිය නුඹ ", "යකඩ පහන් තිර " , "මායා රූ " ඇතුළු අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වූ ටෙලි නාට්‍ය රැසක් ප්‍රේක්ෂක රසවින්දනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 2007 වසරේ දී තිරගත වූ " සංක්‍රාන්ති "චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කරමින් සිනමාවට පිවිස පසුවදී , "බෝම්බ සහ රෝස" , "ගින්නෙන් උපන් සීතල" වැනි විචාරක අවධානයට ලක්වූ සිනමා නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයා වෙත වඩාත් සමීප වන්නට ඔහුට හැකි විය. "ධවල දූවිලි" නමින් ඔහු නිර්මාණය කළ මෙතෙක් තිරගත නොවූ ,සම්මාන උළෙලයන් රැසක් නියෝජනය කළ සිනමා පටයක් ද ඇති අතර , "ධාරා" ඔහුගේ නවතම සිනමා නිර්මාණයයි.

" ධාරා" සඳහා, තුමිඳු දොඩන්තැන්න, එන්. එම්.ඒ.නවරත්න , උමා අසේනි, ප්‍රියන්ත සිරිකුමාර, ජගත් මනුවර්ණ , චින්තක කුලතුංග , ධනුෂ්ක ඩයස්, දසුන් ශ්‍රී මධුසංක, අවන්ත ඉෂාන්, එරංග අමරසිංහ, නිවර්ථනා දේවගේ ,වාසනා නවරත්න, මහේන්ද්‍ර වීරරත්න, නිශාන්ත ප්‍රියදර්ශන ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් රංගන දායකත්වය දක්වා ඇති අතර,

" ධාරා" වික්ටර් ගමගේ සමගින් නිරන් පෙරේරා නිෂ්පාදන කර ඇත . තිර රචනය නාමල් ජයසිංහගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් ක්‍රිස් සෙබස්තියන් ජෝයිස් , සංස්කරණයෙන් චන්දන ලියනගේ, සංගීත අධ්‍යක්‍ෂණයෙන් බිබිලාදෙණියේ මහානාම හිමි , ශබ්ද නිර්මාණයෙන් තපස් නායක් , ශබ්ද මිශ්‍රණයෙන් නන්දා නන්දි ජයකොඩි, කලා අධ්‍යක්ෂණයෙන් ජනක බණ්ඩාර, අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක, විධායක නිෂ්පාදනයෙන් දමින්ද ඩී.මඩවල , නිෂ්පාදන කළමනාකරණයෙන් රන්ජන් ප්‍රසන්න, රේඛීය නිෂ්පාදනයෙන් සසික හේරත් , සහය අධ්‍යක්ෂණයෙන් සඳුනි කාවින්ද්‍යා ජයපත්ම ඇතුළු පිරිසක් නිර්මාණශීලී ලෙසින් දායකව ඇත.

 

514349661 1263895385400684 718798508671403587 n

 

"අනපේක්ෂිත ප්‍රහාරයකට කල් තියා සූදානම්ව සිටි පොලිසිය, ශාරදාගේ කණ්ඩායම පහරදීමට ප්‍රථම, ඔවුනට ප්‍රහාර එල්ල කරනුයේ ඔවුන් කිසිලෙසකත් බලාපොරොත්තු නොවු අයුරිනි. සගයන් දෙදෙනෙකු සටන් බිමේදීම මිය යන අතර , ශාරධාගේ එක් පාදයකට ද දරුණු වෙඩි ප්‍රහාරයක් එල්ල වෙයි . ඉතිරි වූ සගයන් සියල්ලම සමගින් වනයට පැනයන අතර තුර ,දැඩිලෙස රෝගාතුරවන ශාරදා කණ්ඩායමට මගහැරෙයි. තනිව වේදනාවෙන් පසුවන ශාරදාව අහඹු ලෙස වනවාසී තරුණ භික්ෂුවකගේ ඇස ගැටෙයි. පසුව ආරණ්‍යයේ සහයකයාගේ ද උපකාර ඇතිව තම ආරණ්‍යයට ඇයව රැගෙන යන තරුණ භික්ෂුව, ආරණ්‍යයේ වැඩ වසන වයස්ගත භික්ෂුවගේ ද අවසරය සහිතව ඇය සුවපත් කිරීමට වෙහෙසෙයි. වනගත වූ විමුක්ති සටන්කාමින් සොයා රජයේ හමුදාවන් වනය තුළ මෙහෙයුමක නිරත වෙයි . දෙමගක විමුක්ති මාර්ගයන් සොයා වෙහෙසෙන තරුණ සිත් දෙකක අවසානය කෙබඳු වේද යනු "ධාරා" තුළින් නිර්මාණශීලීව පෙන්වා දී ඇත.

 

475839834 3036773783141104 5238055962928751274 n 1

සටහන - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

(මෙම සටහන 'Anton J. Fernando' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom