ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමා සංස්කෘතිය පෝෂණය උදෙසා සිදුකරන මාසික සිනමා දැක්මේ 2026 පළමු පියවර වශයෙන් මෙවර,
සුප්‍රකට හංගේරියානු සිනමාකරුවෙකු වූ බෙලා තාර් (Béla Tarr) ගේ විශිෂ්ටතම සිනමා නිර්මාණය ලෙස හඳුන්වන ‘Sátántangó’ චිත්‍රපටය,
2026.03.22 ඉරිදා, පෙ.ව 10.00 ට, කොළඹ 07, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
ඒ අනුව පැය හතකට වැඩි ධාවන කාලයක් යුත් මෙම චිත්‍රපටය මෙදින විවේක කාල දෙකක් සහිතව නැරඹීමට ඔබට අවස්ථාව උදා වෙනවා.
ප්‍රදර්ශන කාල සටහන පහත පරිදි වේ.
පෙ.ව. 10.00: චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භය
ප.ව. 12.15 - 01.00: විවේකය
ප.ව. 01.00 - 03.00: චිත්‍රපට ප්‍රදර්ශනය දෙවන අදියර
ප.ව. 03.00 - 03.40: විවේකය
ප.ව. 03.40 - 06.10: චිත්‍රපට ප්‍රදර්ශනය අවසන් අදියර
ශ්‍රී ලංකාවේ පළමු වරට ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට ලැබෙන ඉතා දුර්ලභ සිනමා අත්දැකීමක් වන මෙහි චමත්කාරය විඳ ගැනීමට සංවිධායකයන් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කොට සිටියි.
ඇතුළුවීම නොමිලේ ( First come, first served)
සංවිධානය - ජාතික චිත්‍රපට සංස්ථාව

1994 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය ලාස්ලෝ ක්‍රැස්නහෝර්කයි (László Krasznahorkai) ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වී ඇත.
"Sátántangó" යනු හංගේරියානු භාෂාවෙන් "සාතන්ගේ තන්ගෝ නර්තනය" (Satan's Tango) යන්නයි.
"තන්ගෝ" නර්තනයක් මෙන් පියවර හයක් ඉදිරියටත්, පියවර හයක් ආපසු පසුපසටත් තබන ක්‍රියාවලියක් චිත්‍රපටයේ ව්‍යුහය තුළ දක්නට ලැබීම සුවිශේෂත්වයකි.
ජීවිතය ඉදිරියට ගලා යනවා වෙනුවට එකම විනාශකාරී චක්‍රයක මිනිසා කැරකෙන ආකාරය මෙයින් සංකේතවත් කරයි.
හංගේරියාවේ ගොවිපළක වෙසෙන පිරිසක් වටා ගෙතී ඇති මෙයින් කොමියුනිස්ට් පාලනයේ බිඳවැටීමෙන් පසු මිනිසුන් පත්වන අසරණභාවය සහ බලාපොරොත්තු සුන්වීම නිරූපණය වේ.
මෙම චිත්‍රපටය පැය හතකට වැඩි (ආසන්නටට වශයෙන් විනාඩි 432) කාලයක් ධාවනය වන අතර ඉතා දිගු රූප රාමු (Long Takes) භාවිත කරමින්, ( කළු-සුදු වර්ණයෙන් ) නිර්මාණය කර ඇති මෙය නරඹන්නාට නවමු සිනමාත්මක අත්දැකීමක් ඉක්මවා ගිය ගැඹුරු ජීවන දර්ශනයක් ඉදිරිපත් කරනු නොඅනුමානය.
මූලශ්‍රය - ජාතික චිත්‍රපට සංස්තාවේ නිල ෆේස්බුක් පිටුව (Nfc - Film Culture)









