අද කාලයේ බොහෝ දෙනෙක් මාධ්‍ය ප්‍රචාරණයෙන් ජනප්‍රිය වීමට උත්සාහ කළත්, නිහඬවම තම රංගන පරාසය තුළින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් සැබෑ ප්‍රතිභාවක් අපට සිටියි. ඇය නමින් නෙතලි නානායක්කාර නම් වන්නීය. ප්‍රේක්ෂකයින් වන අපට ඇය හුදෙක් රංගන ශිල්පිණියක් පමණක් නොව, පරම්පරා කිහිපයක මතකයන් අලුත් කරන සොඳුරු කලාකාරිනියකි.
මතකය ආපස්සට හැරවීමේදී "බට්ටි" ටෙලි නාට්‍යයේ ඇය නිරූපණය කළ ඒ අහිංසක, ගැමි අම්මාගේ චරිතය තවමත් අපේ නෙත් ඉදිරියේ මැවී පෙනෙයි. එදා ඒ ගැමි සුන්දරත්වය සහ අව්‍යාජත්වය පෑ ඇය, අද "ජහුටා" ටෙලි නිර්මාණය හරහා ඉංග්‍රීසි භාෂාව ඉතාමත් චතුර ලෙස හසුරුවමින් (සට පට ගාලා!) නිරූපණය කරන ඒ නවීන පන්නයේ චරිතය ඇය සතු රංගන නම්‍යශීලීභාවයට කදිම නිදසුනකි.
වෙනස් නොවන ඒ සුන්දරත්වය..
වසර ගණනාවක් ගත වුවද, එදා අප දුටු ඒ සොඳුරු රූපයත්, මුවග රැඳි ඒ ආදරණීය සිනහවත් අදටත් එලෙසම පවතී. ඇයගේ රංගනය තුළ ඇති ඒ ජවය දෙස බැලූ විට ඇත්තටම අපට දැනෙන්නේ ඇය වයසට ගොස් නැති බවයි. (ඇත්තම කිවහොත් ඇයට වඩා අප වයසට ගොස් ඇති බවක් දැනෙන තරමට ඇය තවමත් ජව සම්පන්නය!) ඕනෑම චරිතයකට අතිශය සාධාරණයක් ඉටු කරන ඇය, ක්ෂේත්රයේ නවකයන්ට පවා මහඟු ආදර්ශයකි.
අපේ රටේ කලා ක්ෂේත්රයට අමිල මෙහෙවරක් කරන මේ ආදරණීය කලාකාරිනියට නිදුක් නීරෝගී, සුවබර දීර්ඝායුෂ ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
උපුටා ගැනීම ටෙලි ලන්තය









