ලාංකේය කලා කෙත අස්වද්දන්නට තම හඬත්, රූපයත්, රංග ප්රතිභාවත් එක ලෙස දායාද කළ ඇය, මෙරට රසික හදවත් තුළ නොමැකෙන සටහනක් තැබූ ප්රවීණ කලා ශිල්පිණියකි. වේදිකාව ගුවන්විදුලිය, පුංචි තිරය මෙන්ම රිදී තිරය ද ජයගත් ඈ, ප්රවීණ රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩිය. ඇයගේ වතගොත නවක පරපුර වෙත ලබා දෙන්නට අපි ඇය සොයා ගියෙමු.
ඔබ දායක වෙලා ඉන්න අලුත් නිර්මාණ වලින්ම කතාව ආරම්භ කරමු?
හිරු කුමරු ආදරේ ගෙනල්ලා සහ තප්පර කට්ටා යන ටෙලිනාට්ය දෙකට රංගනයෙන් දායක වෙනවා. සිනමා කටයුතු ගැන කතා කළොත් පසුගිය අවුරුද්දේ තිරගත වුණ සයනයිඩ් චිත්රපටයෙන් අනතුරුව ධනුෂ්ක රත්නායකගේ ‘පරාග‘ සිනමාපටය වගේම ‘වන්දි‘ සිනමාපටයත් ඉදිරියේදි තිරගත වෙන්න තියෙනවා. ඊට අමතරව ගුවන් විදුලි නාට්යයක් වන මුවන් පැලැස්ස නාට්යටත් මේ දිනවල දායක වෙනවා.
කලා ලොවට පැමිණි ආකාරය ගැනත් සිහිපත් කරමු?
කලා ජීවිතයේ මුල් අඩිතාලම වැටෙන්නේ ගෙදරින්මයි. මට සහෝදර සහෝදරියන් හතර දෙනෙක් ඉන්නවා අයියයි මල්ලියි නංගිලා දෙන්නයි. අපි ඔක්කොමලා සින්දු කියනවා නටනවා. අම්මට තාත්තට ඒ කාලෙ කලාවෙන් ඉදිරියට එන්න අවස්ථාවක් තිබ්බෙ නෑ. අම්මා නැටුම් ගුරුවරියක් ඒත් ඔවුන් අපේ දක්ෂතාවලට ඉඩ දුන්නා. ඒ කාලෙ රේඩියෝ එක විතරයි තිබුණේ.‘චන්දන ඇඟ ගාලා කොණ්ඩේ කඩා දාලා‘… ගඟුලේ ගිලිලා ටිකිරිමලී නාලා වගේ….. මේ වගේ සින්දු කිය කිය අපි නටනවා. අයියා ගමරාළ විදිහට මං ගම හාමිනේ විදිහට සින්දුව කිය කිය නටනවා. පස්සේ දහම් පාසලෙන් සහ පාසලෙන් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. දහම් පාසලෙන් සහ පාසලෙන් ලැබුණු පන්නරය මගේ ගමනට ලොකු ශක්තියක් වුණා.
ඔබේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්යය කැලණි පාලමද?
ඇත්තටම මගේ කලා ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ ගුවන්විදුලිය. මම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ ගුවන්විදුලියේ වැඩසටහනක් තිබුණ හඳ මාමා කියලා. ඒකෙ ගීතයක් ගායනා කරන්න ගිහිල්ලා ඊට පස්සේ කරුණාරත්න අබේසේකරයන්ගේ සරස්වතී මණ්ඩපයේ අන්තිම කාලයේ මම පොඩි කාලේ සම්බන්ධ වෙලා ගීත ගායනා කළා. ගුවන්විදුලි ළමා පීඨය තුළින් මං තවත් පෝෂණය වුණා. පස්සේ සුගතපාල සිල්වාගේ ගුවන්විදුලි රඟමඩලේ ලංකා කතාව නාට්යයේ මම කැතරින් කුමාරිගේ චරිතය රඟපාමින් ඉන්නකොට ජේ.එච්. ජයවර්ධන මහත්මයා තමයි මාව ආර්.ආර් සමරකෝන් මහත්තයාට හඳුන්වලා දෙන්නේ. ඒ හරහා කැලණි පාලම නාට්යයේ සුරංගනී ලෙස මට වේදිකාවට එන්න ලැබෙනවා.ගුවන්විදුලියෙන් මගේ හඬ පමණක් අහපු අයට ප්රථම වතාවට මාව සජීවීව දැක ගන්න පුළුවන් වුණේ ඒ නාට්යයෙන්.









