lan englan tam

පුවත්

'අලුත් කවි මංජුසාව' ගැන දුක වගේම සතුටු ප්‍රතිචාරයක්   

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින්

යළි මුද්‍රණය කිරීමට කටයුතු කළ 'අලුත් කවි මංජුසාව' ප්‍රකාශනය ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර විසින් විචාරාත්මක අදහසක් පළ කරනු ලැබ තිබේ. 

සටහන ආරම්භයේදීම 'අලුත් කවි මංජුසාව' ගැන දුක වගේම සතුටු ප්‍රතිචාරයක් වශයෙන් එය පළ කරනු ලැබ ඇත.
 
 
අලුත් කවි මංජුසාව ගැන සතුටෙන් සහ දුකෙන්
 
'අලුත් කවි මංජුසාව කර්තෘ සරත් විජේසූරිය මහතා වෙතටයි.
අලුත් කවි මංජුසාව කියවීමෙන් පසුව ඇති වූ හැඟීම් මෙහි සටහන් කරමි.
 
මේ කෘතිය කියවීමේදී පළමුව විශාල සතුටක් ඇති විය.ඊට හේතුව නූතන කවිය පිළිබිඹු කෙරෙන ඉතා හොඳ නියෝජනයක් එහි තිබීමය.පසුගිය අවධියෙහි සහ වත්මනෙහි අපට ප්‍රබෝධයක් දුන්  කවිකිවිඳියන් බොහෝ ගණනකගේ නිර්මාණ එහි නියෝජනය වී තිබීම සතුටට කරුණකි.නූතන කවිය ගැන අධ්‍යයනය කරන අයට මෙය මහඟු කෘතියකි.
 
කවි ලියන විශාල පිරිසක් අතරින් දෙසීයකට ආසන්න පිරිසක් තෝරාගැනීමද අභියෝගයකි.ඊට හේතුව මෙහි මායිම සලකුණු කිරීම අසීරු වීමය.
එම සංඛ්‍යාවට ඇතුළත් නොවුණ කවීන්ගේ දුක්ගැනවිලිවලට සවන්දීමටද සිදුවේ.
 
තවත් පැත්තක් තිබේ.කුමන හේතුවක් මත හෝ ඇතැම් කවීන් හා කවිපොත් මග හැරී යා හැකිය.සියල්ල සපයා ගැනීමද දුෂ්කර කටයුත්තකි.ඕනෑම ප්‍රශස්ථ කෘතියක් නිසා වුවද සෑහීමකට පත්නොවන සුලුතර පාඨක පිරිසක් සිටිය හැක.ඕනෑම කටයුත්තක දී සියලු දෙනා සතුටු වන අයුරින් එය  අවසන් කිරීමද මෙලෝ ජගතෙකුටවත් කළ නොහැක.
එනිසා මෙබඳු ප්‍රශස්ත වෑයමකින් පසුව වුවද අතෘප්තියට පත් වන පිරිසක් සිටිය හැකි ය.මම ද එයින් අයෙක්මි.
 
කණගාටු වීමට හේතුව
මේ කෘතියෙහි ඇතුළත් මගේ කවිය මා පළ කළ කවි පොත් පහ අතරින් එතරම් ප්‍රශස්ත කවියක් නොවේ.එය 1980 දශකයේ අග භාගයේ පළ කළ පොතක කවියකි.එහි ඇතැම් කවි ගැන දැන් මගේද පැහැදීමක් නොමැත.
එහි මා ලියා ඇති කවිපොත් නාමාවලිය ද දෝෂ සහිතය.
 
මා ලියූ කවිපොත්
1 හෙළිදරව්වක් 1984
2.රන්මසු 1990
3.වෙසක් කුණාටුව 1996
4.ගිනි සිසිල 2012
5.රිදී දිය රැළි බිඳී 2015
 
කවි මංජුසාවෙහි පළවන්නේ මා ලියූ මුල්ම පොත් තුනේ නම්ය.ඒ අතරිනුත් හෙළිදරව්වක් සහ වෙසක් කුණාටුව පොත් දෙකෙහි මෙහි උපුටාගත් කවියට වඩා හොඳ මට්ටමේ කවි ඇතැයි සිතමි.එහෙත් ඒ තෝරාගැනීම සම්බන්ධයෙන් මට විරුද්ධ විය නොහැක.ඒ කතුවරයාගේ නිදහසය.
හැබැයි මගේ පොත් නොකියවා සමස්තය ගැන නිර්වචනයක් දීම එතරම් ප්‍රඥාගෝචර කටයුත්තක් යැයි මම නොසිතමි.මගේ කවි පොත් දෙකක් අතර පරතරය වසර 6,7,8,ක් පමණ වේ.මගේ අලුත් කවි එකතුව සකස් වෙමින් පවතී.එහෙත් සටහනෙහි ඇත්තේ මා කවියෙන් දුරස්ව ආධුනික කවීන්ට දිරිදෙමින් සිටින බවය.හැබැයි එහි දයාර්ද්‍ර ඇමතීමක් ඇත.එනම් මා කවිය පිළිබඳ නියමාකාර අවබෝධයක් ලබාගෙන ඇතත් කවියෙහි පෙරමං බැලීමට උත්සුක නොවූ බව කීමය.මෙය හෘදයාංගම ඇමතීමකි.එහි කිසිදු අනර්ථකාරී හැඟීමක් නොමැත.
ඔබ මේ පොතෙහි පළමු කොටසට තෝරාගත් කවීන් 70 අතරට ඒ කවීන්ගේ කවි ගැන කෙටි විවරණයක් සමග කවි පන්ති තුන බැගින් ඇතුළත් කර ඇත.දෙවැනි කොටසෙහි කවියා ගැන කෙටි සටහනක් සහ කවියක්ද සමග කවීන් හැත්තෑවක් එකතු කරගෙන ඇත.
මගේ කවියක් සහ  මා ගැන කෙටි සටහනක් ඔබ දෙවැනි කොටසට එක් කරන විට මට හැඟෙන පරිදි ඔබ කියවා ඇත්තේ 80 ගණන්වල පළ වූ මගේ එතරම් ප්‍රශස්ථ නොවූ කෘතියක් වන රන්මසු පමණි.සෙසු සියලු කෘති නොකියවා මගේ කවිය ගැන සමස්තයක් හැටියට නිගමනය කළේ කෙසේ ද?
 
එමෙන්ම එදා දෙසුමෙහිදී සඳහන් කළ පරිදි වසර විසි තිස් ගණනක් ගුවන් විදුලියෙන් නවකවි හඳුන්වා දුන් ඔබට තිඹිරියාගම බණ්ඩාරගේ කෘති මග හැරුණේ කෙසේද?
 
1996දී පළවූ වෙසක් කුණාටුව ප්‍රාදේශීය වශයෙන් පළවූවක් නොව සාර ප්‍රකාශනයකි.ඒ පොත පිළිබඳව රත්නශ්‍රී විජේසිංහ,මහාචාර්ය ජිනදාස දනන්සූරිය ,සරච්චන්ද්‍ර බණ්ඩාර,ජේ,ජේ,වික්‍රමසේන,ඇතුළු කිහිප දෙනකු විචාර ලියා ඇත.
ගිනි සිසිලෙහි ඇතැම් කවි ගැන නන්දන වීරසිංහ,රත්නශ්‍රී විජේසිංහ,මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න,ආචාර්ය ඩබ්.ඒ.අබේසිංහ,වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල ඇතුළු කිහිප දෙනකු තම ලේඛනවලදී අදහස් දක්වා ඇත.රිදී දිය රැළි බිඳී කෘතියෙහි මුද්‍රණ දෙකක් නිකුත් වී ඇති අතර ඒ කවි ගැන ද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර,රත්නශ්‍රී විජේසිංහ,චූලානන්ද සමරනායක,මහාචාර්ය ලියනගේ අමරකීර්ති,සිසිර වන්නිආරච්චි,මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර,සිසිර කුමාර මහගම,ආචාර්ය අතුලසිරි සමරකෝන් ඇතුළු සැලකිය යුතු පිරිසක් ලියා ඇත.දේශනවලදී කතා කර ඇත.මේ කිසිම අයෙකුට පොත ගැන විචාර ලියන්නැයි මා පුද්ගලිකව පොත යවා නැත.
එමෙන්ම මගේ ඇතැම් කවි විවිධ සංස්කරණවලටද විද්වතුන් විසින් ඇතුළත් කර ඇත.
 
මේ කරුණු සටහන් කළේ මගේ කවි උසස් යැයි කීමට නොව මේ ඇගයීම් ඔවුන්ගේ අවංක අදහස් ලෙස මට දැනෙන නිසාය.තවද සාක් රටවල කවි එකතුව සඳහා මගේ කවි දෙකක් ඇස්.ජී.පුංචිහේවා සූරීන් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදි.
ඔබේ පොතෙහි පළමු කොටසෙහි ඇතුළත් කවීන් අතර මගේ අවසන් පොත පළවූ වසරට කලින් තම අවසන් කවි පොත පළ කර ඇති අයද පෙනෙන හෙයින් මා කවි ලිවීමෙන් ඈත්වී සිටින බවට කර ඇති සඳහන සදොස්ය.
මට පෙනෙන්නේ කුමන විදියකින් හෝ මා පොතෙහි නියෝජනය කිරීම මැනවැයි සිතා මා ගැනද එකතු කිරීමක් කර ඇති බවය.
එය ද නරක හැඟීමකින් නොව සද්පරමාර්ථයකින් බව මම සිතමි.
 
මට කිසිම දිනක මගේ කවි පොතක් එවා ඔබේ ප්‍රතිචාර දැන ගැනීමට නොහැකි විය.ඇත්තටම මම ඒ විදියට මගේ පොත් යවා විචාර ලියන්නැයි ඉල්ලා සිටින්නේ ද නැත.
කුමන විදියෙන් හෝ වේවා.මගේ කවිය ඔබට මගහැරී ඇති බව මට දැනේ.එය ඔබ සිතා මතා කළ මග හැරීමක්ද නොවේ.
මේ පොත නිකුත්වීමට සති දෙකකට පමණ පෙර ආචාර්ය සුනිල් සෙනෙවි මා අමතා මගේ කවිපොත් ඔබතට පත් කරන්නැයි කීවේය.දෙතුන් වරක් මතක් කළේ ද යහපත් චේතනාවෙනි.එහෙත් මට ඒ කාරිය කළ නොහැකි විය.ඒ මගේ දුර්වලතා නිසාය.
කෙසේ නමුත් මේ සියල්ල සිදුවීමෙන් පසුව පොත නිවී හැනේ පාඨකයකු ලෙස කියවා බලන විට කිසියම් ආත්මානුකම්පාවක්  ඇති විය.එය කිසිවකු කෙරෙහි ද්වේශයකින් තොර හැඟීමකි.
 
 මෙහි ඇතුළත් බොහෝ කවි මා කියවා ඇති හෙයින් එහි නියෝජනය වන ඇතැම් කවි සමග සමතැන් තැබිය හැකි මගේ කවි දරුවන් කිහිප දෙනකු සිටින බව මගේ හෘද සාක්ෂියට දැනෙයි.වෙසක් කුණාටුව,ගිනි සිසිල සහ රිදී දිය රැළි බිඳී පොත්වල නිහඬ කවි ගැන නිහඬ පාඨකයන් ද සාක්ෂි දරනු නිසැකය.
 
හැබැයි ඒ මගේ හැඟීමය.මීට වෙනස් හැඟීම් තිබිය හැක.මට හැඟීම් ප්‍රකාශ කළ හැකිය.එහෙත් විනිශ්චය දිය නොහැක.
අවසාන වශයෙන් ඔබෙන් එක ඉල්ලීමක් කරමි එනම් ඔබ මෙහි දෙවැනි සංස්කරණයක් පළ කරන්නේ නම් මා ගැන ඇති සටහනත් කවියත් ඒ පොතෙන් ඉවත් කරන ලෙස ය.ඊට හේතුව බසයේ යෑමට අසුනක් ද තිබිය දී පාපුවරුවේ යෑම අනුචිත යැයි මට හැඟෙන හෙයිනි.
 
මේ කුමක් වුවද ඒ පොතේ කවි සහ කවීන්ටද කෘතිය පළකළ ඔබට ද  මගේ දයාව,කරුණාව,සෙනෙහස බිඳකුදු අඩු නොවන බව දැනුම් දෙමි.සැමට යහපතක් ම වේවා!
Back to top
Go to bottom

Popular News