මෙරට ප්‍රකට නාට්‍ය කරුවෙකු වන ධනංජය කරුණාරත්නගේ මැරයෙක් ඇවිත්, ඩබල්ගේම්කාරයෝ, බුද්ධිකයාගේ ජීවිතය පර්යේෂණාත්මක නාට්‍ය ත්‍රිත්වය ග්‍රන්ථය ඇසුරින් රංග කලාව පිළිබඳ කතාබහක්,
2025 ඔක්තෝබර් 23 බ්‍රහස්පතින්දා, සවස 3.00 ට, කොළඹ 07, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.
මෙම නාට්‍ය ග්‍රන්ථය මුල් කරගෙන නමුත් ඊට පමණක් සීමා නොවී ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවට අදාලව එක්තරා සමාජ දේශපාලන විවරණයක් මෙම කථිකාවට අඩංගු වෙනවා.
එදිනට - දේශපාලනය විසින් කලාව යටපත් කිරීම පිළිබඳ විවේචනයක් - යන මාතෘකාවෙන් රංග මනුප්‍රිය ද,
- නැවත ධනංජය කරුණාරත්න වැනි නාට්‍ය කරුවන් බිහි නොවන්නේ මන්ද? - අන්තර්ග්තයට වඩා ආකෘතියේ බලය ගැන අදහසක්- යන මාතෘකාවෙන් දීප්ති කුමාර ගුණරත්න ද අදහස් දක්වන්නට නියමිතයි.
වැඩසටහන මෙහෙයවීම තිලක් නන්දන හෙට්ටිආරච්චි විසින්.
එදිනට ධනංජය කරුණාරත්නගේ සිහින රඟහල හා මෙම නාට්‍ය ග්‍රන්ථයද විශේෂ වට්ටම් සහිතව මිලදී ගැනීමටද හැකිය.

මතු දැක්වෙනේ මැරයෙක් ඇවිත් - ඩබල්ගේම්කාරයෝ - බුද්ධියාගේ ජීවිතය නම් ග්‍රන්ථයේ පළවුණු හැඳින්වීමෙන් කොටසකි.
"මෙය බුද්ධික දමයන්ත නම් නාට්‍යකරුවා ගේ ජීවිතය ඇසුරින් ඔහුවම තම චරිතය ඉදිරිපත් කරන්නා ලෙසට යොදාගෙන කරන ලද ස්වයං චරිතාපදාන රංග නිර්මාණයක් (Auto biographical theatre ). මෙම නිර්මාණය කිරීමට මම මුලින්ම යොදාගත්න සූදානම් වුණේ විමල් කුමාර ද කොස්තාවයි. එම රංග නිර්මාණයට නම් තබා තිබුණේ ද ‘විමල් කුමාර ද කොස්තා‘ කියලයි. එවකට මම ඕස්ටේ්‍රිලියාවේ සිටි බැවින් මේ සඳහා මම සෑහෙන කාලයක් විමල් කුමාර ද කොස්තාව දුරකථනය හරහා සම්මුඛ සාකච්ඡාවන්ට ලක් කළා. එහෙත් ක්‍රමයෙන් මෙසේ සාකච්ඡා කරගෙන යාමේදී මට දැනගන්නට ලැබුණ විස්තරවලට අනුව කොස්තාව මෙම රංගයට යොදා ගන්ඩ බැරි අභියෝග කීපයක් තිබුණා. පැයකට වඩා ධාවන කාලයකින් යුත් එම තනි චරිතයේ රංගනයේ විශාල සංවාද ප්‍රමාණයක් මතක තියාගෙන සැලකිය යුතු කාලයක් යටකර පුහුණු වී ඉදිරිපත් කර ගැනීමට එම රංගනයට අවශ්‍ය ශාරීරික සහ මානසික සූදානම් වීම ලබා දීම ඒ වන විට කොස්තාට විශාල අභියෝගයක් බව පෙනෙන්නට ගත්තා. කෙසේ හෝ ඔහුගේ ජීවිතේ තිබුණු තවත් විවිධ දුෂ්කරතා ද ඇතුළු කොස්තාට තිබුණු මෙම අභියෝගම මම ඔහුව තෝරා ගැනීමට ප්‍රධාන හේතුවක් වුණත් අනෙක් පැත්තට එම කාරණාම ඔහු සමඟ රංගය නිර්මාණය කිරීමට අභියෝගය බවට පත්වුණා. කෙසේ හෝ කොස්තා සමඟ සාකච්ඡා කරන කාලය තුළ තමයි මෙම රංගයේ බොහෝ ආකෘතිමය පැති සහ සංකල්ප වර්ධනය වූණේ. එම සාකච්ඡා පටිගත කළ හඩ පට පවා තාමත් මා සතුව තිබෙනවා. කොස්තා ඔහුගේ ජීවිතයේ බොහෝ දේවල් විවෘතව මා සමඟ බෙදා ගනිමින් ඉතා උවමනාවෙන් මා සමග සාකච්ඡාවලට සම්බන්ධ වූ අතර, මම මේ මොහොතේ කොස්තාට ගෞරව පූර්වකව මගේ විශේෂ ස්තුතිය පුද කරනවා.
කෙසේ හෝ ඒ වන විට මම තනි චරිතයකින් ස්වයංචරිතාපදාන රංගනයක් කිරීමට යම්කිසි ආකෘතියක් වර්ධනය කර ගනිමින් තිබුණු අතර, එය පර්යේෂණයට ලක් කිරීම සඳහා වෙනත් පුද්ගලයෙකු සොයා ගත යුතු යැයි මට වැටහී ගියා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි මම බුද්ධික දමයන්ත නාට්‍යකරුවා මීට යොදා ගැනීමට කල්පනා කළේ.
මේ කාලයේ වෙද්දි කිසිදු රැකියාවක් නොමැතිව නාට්‍යකරුවෙකු ලෙසට පවතින්නට බුද්ධික අරගල කරමින් සිටියා. ඔහු කියූ ආකාරයට අනුව, ඔහු විවිධ රැකියා කරන්නට උත්සාහ කළ ද ඒවා සියල්ලම මෙන් අසාර්ථක වී තිබුණා. නාට්‍ය නිෂ්පාදනය කිරීමට ද යටිතල පහසුකම් සහ ප්‍රතිපාදන හොයා ගැනීම සම්බන්ධයෙන් ඔහු ලොකු අර්බුදයක හිටියා. ඔහු නිතර කියූ දේවල්වල අපේක්ෂා භංගත්වය, කලකිරීම සහ දැඩි සමාජ විවේචනයක් තිබුණා. වෙනත් විදියකට කියනවා නම් පවතින සමකාලීන සමාජය තුළ ඔහුගේ පැවැත්ම විශාල අර්බුදයකට ගිහින් තිබුණා. බුද්ධික සහ කොස්තා යනු සම්පූර්ණයෙන්ම පුද්ගලයන් දෙදෙනෙක් වුව ද පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයේ දී ඔවුන් එක්තරා විදිහකට සමාන වුණා. එබැවින් මට ඒ මොහොතේ පහසුවෙන් ලබා ගන්නට ඇති සම්පත් අතර මගේ ප්‍රකාශනයට වඩාම සමීප, මා හොදින් දන්නා චරිතයක් විදිහට බුද්ධිකව මට පෙනී ගියා.
රංගනයට අවශ්‍යය තොරතුරු ලබා ගැනීම ක්‍රම කීපයකින් සිද්ධ වුණා. එකක් තමයි විවිධ ප්‍රශ්න අසමින් බුද්ධික සමඟ දීර්ඝව සාකච්ඡා කිරමින් ඒවා පටිගත කර විශ්ලේෂණය කර ගැනීම. ඒ වගේම ඔහුව මම බොහෝ කාලයක සිට දැනගෙන සිටීම හරහා ද විවිධ අවස්ථාවල ඔහු කියූ, කෙරූ දේවල් පිළිබඳ මගේ ළඟ තිබුණු මතක විස්තර පාවිච්චියට ගැනීම.
සිනමා, වේදිකා හෝ සාහිත්‍යමය වේවා, ජීවමාන සත්‍ය චරිතයක් නිර්මාණයක් බවට පත්කිරීමේදී, විශේෂයෙන් එම කතාව නිර්මාණාත්මක ආකෘතියකට ගෙන ඒමේදී, ප්‍රබන්ධයක් වීම වැළැක්විය නොහැකියි. උදාහරණයකට බුද්ධික වේදිකාවට ගෙනත් මේ විදියේ කතාවක් ප්‍රේක්ෂකයන්ට කීම බුද්ධිකගේ අදහසක් නොව නිර්මාණකරුවා වන මගේ අදහසක්. එම ඉදිරිපත් කිරීමේ ආකෘතිය ප්‍රබන්ධ කරන්නේත් මම විසින්. එය කෙතරම් ප්‍රබන්ධයක් වුව ද එම චරිතයේ සත්‍ය සහ සාමාන්‍ය ස්වභාවය හැකි තරම් වෙනස් නොකර තබා ගැනීමට මම උත්සාහ කළා. මොකද නාට්‍යකරුවා එය හඳුන්වා දෙන්නේ බුද්ධික දමයන්ත ලෙසටයි එබැවින් එහි බුද්ධික දමයන්ත සිටිය යුතුයි.
බුද්ධික වීරයෙක් කිරීම, නිවැරැදි කිරීම, වැරැදිකරුවක කිරීම හෝ විවේචනයට ලක් කිරීම හෝ කිසිවක් මගේ කටයුත්ත නෙමෙයි. මගේ උත්සාහය වුණේ ඔහුගේ චරිතය හැකි තරම් යථාර්ථවාදීව ඉදිරිපත් කිරීමටයි. යථාර්ථවාදී කිරීම උදෙසා සමහර විට පුද්ගලයෙකු ලෙස ඔහුගේ ඇති විවිධ සීමා ද සමහර තැන්වල නොසඟවා තියන්නට මම උත්සාහ කළා. අවසානයේ මට අවශ්‍ය වූයේ ඔහුගේ කතාවෙන් කම්පිත සමාජ සහ ජීවිත විවරණයක් කරමින් මනුෂ්‍යයෙකු ලෙස ඔහුගේ චරිතයට සානුකම්පිත හැඟීමක් ප්‍රේක්ෂකයා තුළ ගොඩනඟන්නයි. එය විශාල කම්පනයක් ඇති කරමින් ප්‍රේක්ෂකයාත් සම්බන්ධ කරගෙනම අවසන් කරන්නට මට අවශ්‍ය වුණා.
‘බුද්ධිකයාගේ ජීවිතය’ රංගය තුළින් ප්‍රකාශ වන්නේ එක්තරා විදියට අද දවසේ අප සියලුම දෙනාගේ ජීවිතයේ පැවැත්ම පිළිබඳ අවිනිශ්චිතභාවයයි. ශ්‍රී ලංකාවේ තම රැකියාව පවා අනාරක්ෂිත අතිශය සාමාන්‍ය මිනිසාගේ පැවැත්ම පිළිබඳ අවිනිශ්චිත ජීවන අරගලයයි. සමාජයට අපව හසුකර ගන්නට බැරිවන තැන්, මධ්‍යම පාන්තික මිනුම් දඬුවලින් විනිශ්චය කර අපව බැහැර කිරීම, තව කෙනෙකුට විකුණා ගැනීමට තරම් අප තුළ වෙළෙඳ පොළ වටිනාකමක් නැති වීම, අපගේ හඬ පිළිගැනීමට ලක් නොවීම, සමාජය විසින් අපව රැවටීම, පාවිච්චි කිරීම, ව්‍යාජ ඇගැයීම් සහ පොරොන්දුවලින් මුළා කිරීම ඒවා හරහා අප හුදෙකලා වෙමින් තමන්ගේ ජීවිතයේ අර්ථය සොයා යාම පිළිබඳ මිනිසකුගේ ඛේදාන්තයයි.
මෙහි පිටපත ලියා මම බුද්ධිකට කියවන්න දී ඔහුගේ අනුමැතිය ලබා ගත්තා. මෙහි එන කරුණු හෝ අන්තර්ගතය හෝ මොන යම් හෝ කාරණයකට බුද්ධික එකඟ නැත්නම් එම කොටස් ඉවත් කිරීමට ද, සංශෝධනය කිරීමට ද මම එකඟතාවය පළ කළ අතර, එය නිෂ්පාදනය කළේත් අවසානයේ මෙම පිටපතෙන් මුද්‍රණයට යවන්නෙත් ඔහුගේ එකඟතාවය මතයි. එම එකඟතාවයට අමතරව මෙම රංගයේ අර්ථකථනය, ඒ තුළ ඇති කරන අර්ථ හැඟුම් සියල්ල සම්බන්ධයෙන් වගකීම භාරගත යුත්තේ බුද්ධිකට වඩා කෘතියේ නිර්මාණකරු ලෙස මමයි. ඒ සියල්ල දවස අවසානයේ නිර්මාණයකින් උත්පාදනය කරන දේවල් වන අතර, බුද්ධිකව නළුවෙකු ලෙස හසුරවන්නෙත් මමයි.
මෙම මුද්‍රණය සඳහා යොදා ගන්නේ තනිකරම නිෂ්පාදනය කරපු පිටපතයි. නිෂ්පාදන පිටපතේ අසම්පූර්ණයි කියලා හිතුණු තැන් කීපයක් වචනෙකින් හෝ වැකියකින් වඩා හොඳින් පැහැදිලි කිරීම හැරුණු කොට මෙම පිටපතට කිසිවක් අලුතින් එකතු කරලා නැහැ..."
(මෙම කෘතියේ හැඳින්වීම පිළිබඳ සටහන "Dhananajaya Karunarathna" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)
















