lan englan tam

ඇල්බර්තෝ කෝර්දා : කියුබානු විප්ලවය අමරණීයකළ ඡායාරූප ශිල්පියා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇල්බර්තෝ දියාස් ගුටියාරෙස් නැතිනම් ලෝකය දන්නා විදියට ඇල්බර්තෝ කෝර්දා යනු කියුබානු විප්ලවයේ බොහෝ සුවිශේෂී අවස්ථා ඡායාරූපයට නැගූ ඡායාරූප ශිල්පියාය.

alberto k n

ඇල්බර්තෝ කෝර්දා

විප්ලවයෙන් පසු ෆිදෙල් කස්ත්‍රෝ නිල ඡායාරූප ශිල්පියා වූ ඔහු ෆිදෙල්ගේ සහ අර්නස්ටෝ චේ ගුවේරාගේ සමීපතම මිතුරකු විය. ඔහුගේ කැමරා කාචයේ සටහන් වූ සෑම රූපයක්ම කියුබානු විප්ලවයේ වැදගත් සංකේතයක් වූයේය.

download 7

 ඇල්බර්තෝ කෝර්දා විසින් ගනු ලැබූ  ෆිදෙල් කස්ත්‍රෝ ගේ සහ Camilo Cienfuegos ගේ ඡායාරූපයක් (1959 හවානා හීදී)

 

දුම්රිය කම්කරුවකුගේ පුතු ලෙස උපත ලද කෝර්දා විවාහ මංගල සහ දරුවන්ගේ ප්‍රසාද ස්නාපන අවස්ථා ඡායාරූපගත කළ ඡායාරූප ශිල්පියකුගේ සහායකයකු ලෙසින් ඡායාරූප කලාවට පිවිසියේය. 1953 ඔහු තමාගේම ඡායාරූප ශාලාවක් ආරම්භ කිරීමට සමත් විය. එවක කියුබාවේ සිටි දක්ෂතම විලාසිතා ඡායාරූප ශිල්පියා ලෙසින් ප්‍රසිද්ධියට පත් වීමට ඔහු සමත් විය. එවක සිටි සියලුම ඡායාරූප ශිල්පීන් කළ ආකාරයෙන් කෘත්‍රිම ආලෝකය භාවිතයට නොපෙළඹි ඔහු ස්වාභාවික ආලෝකයෙන් ඡායාරූප ගැනීමට වැඩි කැමැත්තක් දැන්වූ අතර ඒවා ඉතා නිර්මාණාත්ම බවින් යුතු විය. සාම්ප්‍රදායික කියුබානු ඡායාරූප ශිල්පයෙන් බැහැර වූ පළමු පුද්ගලයා වූයේ ඔහුය.

කොර්දාට ෆිදෙල් කස්ත්‍රෝ හමුවන්නේ මේ වකවානුවේය. දෙදනො අතර දැඩි මිතුදමක් පැවැති අතර ෆුල්ජෙන්සියෝ බැටිස්ටාට එරෙහිව සටන් වැදීම සඳහා ෆිදෙල් කස්ත්‍රෝ සියෙරා මයෙස්ත්‍රා කඳුකරයට ගිය ගමනේදී කොර්දාද ගෙන්වා ගැනීමට අමතක නොකළේ විප්ලවයේ මතක සටහන් ඔහු ලවා රූ ගත කර ගැනීමටය.ගරිල්ලන් සමඟ මාස ගණනක් ගතකර යළි නිවෙසට පැමිණි කොර්දා හඳුනා ගැනීමට ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද නොහැකි විය. මාස ගණනකින් දිය නොනෑ ඔහුගේ හිසකෙස් සහ රැවුල ඉතා දිගට වැවී තිබිණි.

 

528650309 24384380097844916 3021874441662768302 n ඇල්බර්තෝ කෝර්දා විසින් ගනු ලැබූ චේ ගුවේරාගේ ලෝක ප්‍රකට ඡායාරූපය

චේ ගුවේරාගේ ලෝක ප්‍රකට ඡායාරූපය ඔහු විසින් ගනු ලැබුවේ 1960 මාර්තු 5 වැනි දින Revolución නම් කියුබානු පුවත්පතේ සේවය කරන අතරතුරය. ලොව පුරා විශාල වශයෙන් සංසරණය වූ එම ඡායාරූපය සඳහා ඔහු කිසිදු කතෘ භාගයක් අය කළේ නැත.

චේගේ මරණයෙන් පසු එක්තරා රටබීම සමාගමක් චේගේ ඡායාරූපය වෙළෙඳ දැන්වීමක් සඳහා නීති විරෝධී අයුරින් භාවිත කිරීමට එරෙහිව නඩු මගට බට ඔහුට ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 50,000ක වන්දියක් හිමිවිය. එහෙත් එම මුදලින් එක් ඩොලරයක් හෝ නොගත් ඔහු සියල්ල කියුබානු සෞඛ්‍ය සේවය නගා සිටුවීම සඳහා පරිත්‍යාග කළේය. කියුබානු විප්ලවයෙන් පසු ෆිදෙල් කස්ත්රෝ ගේ පෞද්ගලික ඡායාරූප ශිල්පියා ලෙසින් දස වසරක් සේවය කළ ඔහු පසු කාලයේ මුහුදු පතුලේ සුන්දර දර්ශන ඡායාරූපයට නඟන්නකු වශයෙන් කටයුතු කළේය.

2001දී පැරිසියේ ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන අතරතුර දරුණු හෘදයාබාධයකට ගොදුරු වූ ඔහු ඉන් මිය ගියේය.

මිය යන විට 73 හැවිරිදි වූ ඔහුගේ සිරුර හවානාහි කොලොන් සුසානභූමියේ

මිහිදන් කෙරිණි. ලොව බිහිවූ විශිෂ්ඨතම ඡායාරූපශිල්පීන් අතුරින් එක් අයෙකු ලෙස කෝර්දා අමරණීය ය.

 

සටහන -  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

('Priyanjan Suresh De Silva' මුහුණු පොත ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom