ජුලියස් සීසර් කෑගැහුවා.
මුලු ශාලාව ම සීසර්ගෙ තියුණු හඬින් දෙදරුවා. එයා හිටියෙ පුටුවක ඉඳගෙන. නැඟිටින්න හැදුවා. ඒත් බෑ. ‘ටිලියස්‘ සීසර්ගෙ සන්නාහය පහත් කෙරුවා. සීසර්ගෙ බෙල්ල නිරාවරණය උනා. ‘සර්විලියස් කැස්කා‘ තමන්ගෙ කිරිච්චිය අරන් සීසර්ගෙ බෙල්ලට තද කෙරුවා.
ලේ විසිවුනා. සෙනෙට් සභිකයො රංචුවක් ම සීසර්ව වටකරගත්තා. හැමෝම තමන්ගෙ අසිපත් අතට ගත්තා. පුටුවෙ වැටිලා ඉන්න සීසර් දිහාට ඒවා දික් කෙරුවා.
කිසි බිසි ගාලා අසිපත් පාරවල් සීසර්ට එල්ල උනා. සීසර් දෑතින් ඒවා වලක්වන්න හැදුවා. මේ අසිපත් පහරවල් අතරින් සීසර් දැක්කා එයා හඳුනන මූණක්. ඒ තමයි ‘බෘෘටස්‘. සීසර්ගෙ ළඟම මිතුරෙක්. එයාගෙ අර්ධ සහෝදරයෙක්. ඒ වගේම එක්තරා යුද්ධයකදී සීසර් බෘෘටස්ට අභය දානය දීලා තිබුනා. බෘෘටස් පවා සීසර්ට විරුද්ධ වූ බව එයා දැනගත්තෙ මැරෙන වෙලාවෙදි.
කඩු-පිහි පාරවල් කාගෙන සීසර් පුටුවෙන් බිමට වැටුනා. තුවාල 23 ක්. කිරිගරුඬ පොලව මත රුධිර ධාරාවක් ගැලුවා. එයා වැටිලා හිටියෙ ‘පොම්පෙයි‘ සෙන්පතියාගෙ ප්‍රතිමාව පාමුල. පොම්පෙයි කියන්නෙ සීසර් එක්ක කාලයක් රෝමයේ පාලකයා වෙන්න යුධ වැදුනු සතුරෙක්.
සීසර් මැරුණා. එයාව මැරුවෙ එයාගෙ ම සෙනෙට් සභිකයින්. හරියට ම දවස තමයි ක්‍රිස්තු පූර්ව 44 මාර්තු 15.
කුමන්ත්‍රණය සිද්ධ වෙන්න විනාඩි කිහිපයකට කලින් තමයි සීසර් මේ ශාලාවට ඇතුලු උනේ. එයා ආවෙ මාක් ඇන්තනී එක්ක. මාක් ඇන්තනී ගැන මම පසුගිය ලිපි කීපයක ම ලිව්වා. මාක් ඇන්තනියි සීසරුයි ශාලාවෙ දොරකඩට ආවා. බෘෘටස් ඉස්සරහට ඇවිත් දෙන්නව පිලිගත්තා. කැස්කා මාක් ඇන්තනීට ඇතුලට එන්න ඉඩ දුන්නෙ නෑ. මොකද සීසර්ව මරන්න නම් මාක් ඇන්තනීගෙන් වෙන් කරලා තියාගන්න වෙනවා.
ඒ වෙද්දි සීසර්ගෙ ජීවිතයට තර්ජනයක් තියෙන බව බොහෝ අය කියා තිබුනා. හැබැයි මේ 55 හැවිරිදි රෝම පාලකයා ඒවා තැකුවෙ නෑ. එයා මාක් ඇන්තනී නැතිව තනියම ඇතුලට ගියා.
ගිය ගමන් කුමන්ත්‍රණකාරයො ටික එයා වටේට හිමින් හිමින් එකතු උනා. බෘෘටස්, කැෂියස්, කැස්කා වගේ කට්ටිය. මේ කණ්ඩායම එයාලව හඳුන්වාගත්තෙ ලිබරේටර්ස්ලා, එහෙමත් නැත්නම් විමුක්තිදායකයින් කියලා.
මේ අය සීසර්ට විරුද්ධ කුමන්ත්‍රණයක් කරන්න හේතුවක් තිබුනා. එයාලා දැක්කා සීසර් එන්න එන්න ම බලගතු වන බව. සීසර් ඒකාධිපතියෙක් වෙමිනුයි හිටියෙ. සීසර් රෝමයේ පාලකයා කියන තැන ඉඳන් බලවත් රජෙක් වෙනකන් ගොඩනැඟෙමින් හිටියා. හැබැයි රෝමය කියන්නෙ රිපබ්ලික් එකක්. ඒ කියන්නෙ ජනරජයක්. ප්‍රජාතන්ත්‍රවාදය ඉපදුනේ එහේ. ඉතින් ඒකෙ පාලකයාත් එන්න එන්න උවමනාවට වඩා බලවත් වීම ඒ තරම් යහපත් දෙයක් නෙවෙයි. ඉතින් මේ ලිබරේටර්ස්ලා හිතුවා සීසර්ව ඉවරයක් කරන්න. රෝම ජනරජයට යහපතක් කරන්න. රෝමය පැරණි පුරුදු තත්ත්වයට ගේන්න.
හැබැයි සීසර් කිරිගරුඬ පොළව මත ඇදගෙන වැටුනහම ඒ බලාපොරොත්තු සුන් උනා. ලිබරේටර්ස්ලා තේරුම්ගත්තා වැඩේ වැරදුනු බව.
සීසර්ව මරා දැමීම ගැන ආරංචිය ලැව් ගින්නක් උනා. රෝමය පුරා පැතිරුනා. මිනිස්සු කලබල උනා. සෙබලු දෙකට බෙදුනා. දෙකට නෙවෙයි තුනට හතරට බෙදිලා කණ්ඩායම් සිය ගානක් හැදුනා. සාමාන්‍ය මිනිස්සු එක එක සෙන්පතියගෙ පැත්ත ගත්තා. පිරිසක් රෝමය ගිනි තිබ්බා. රෝමයේ සිවිල් යුද්ධය ආරම්භ උනා.
රෝමය ගිනි ගන්න ගියේ හෝරා කීපයයි. මාක් ඇන්තනීට යකා වැහුනා. සීසර්ව මැරුවා කියලා දැනගත් මාක් ඇන්තනී දැවැන්ත හමුදාවක් අරන් යුධ වැදුනා. මාක් ඇන්තනීගෙ සයිඩ් එකෙන් එල්ලිලා යුද්ධෙට ගියා පොඩි කොල්ලෙකුත්. ඒ තමයි සීසර්ගෙ අනුප්‍රාප්තිකයා. ඔක්ටේවියන්. මේ දෙන්නගෙ හවුල දින කීපයකින් බිඳුනා.
ඔක්ටේවියන් තමයි පසු කාලෙක රෝමය අධිරාජ්‍යයක් කරලා ලෝකයම පාලනය කරපු ඔගස්ටස් සීසර්. එයාගෙ මුල් නම ඔක්ටේවියන්.
මාක් ඇන්තනී ඔක්ටේවියන් එක්කත් දැවැන්ත යුද්ධ මාලාවක් කෙරුවා. ඒ සීසර්ගෙ නාමයෙන්. බෘෘටස් සහ කැෂියස්ගෙ හමුදා අවුරුදු දෙකක දිග යුද්ධයකින් පස්සෙ මාක් ඇන්තනීට පැරදුනා. එයාලා රැකගන්න හිතපු රෝම සමූහාණ්ඩුවයි එයාලගෙ ජීවිතයි ඔක්කොම වතුරෙ ගියා.
සීසර් මැරුනෙ අසිපත් පහර 23ක් දරාගෙන ඉඳලා. ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය දායාද කළ රෝම ජනරජයත් එයා එක්කම මියැදුනා. ඊට පස්සෙ එලැඹුනේ රෝමය විසින් ලෝකයම පාලනය කළ රෝම අධිරාජ්‍යය.
(ඡායාරූපය: ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී වින්චෙන්සෝ කමුචීනි විසින් 1798 වසරේදී අඳින ලද “The Death of Caesar“ චිත්‍රයේ කොටසක්.)
සීසර් මැරුණාට පස්සෙ රෝමයට මොකද උනේ කියලා හෙට ලියන්නම්. ඒක වෙනම සිදුවීමක්. එයාව මැරුවෙ රෝමයට යහපතක් කරන්න උනාට, සිද්ධ උනේ නම් මහා අලකලංචියක්.
සටහන: නුවන් ඉෂාර මහගමගේ
මෙම සටහන "Nuwan Ishara Mahagamage" ෆේස් බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)
















