lan englan tam

“සීසර්ගෙ මරණයෙන් රෝමය කැළඹුණා. මාක් ඇන්තනී රෝමය බාරගත්තා..” (දෙවන කොටස)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සීසර්ගෙ මරණයෙන් රෝමය කැළඹුණා. මාක් ඇන්තනී රෝමය බාරගත්තා.

එයා රෝම නගරය සන්සුන් කෙරුවා. තාම සීසර් මැරිලා දින දෙක තුනයි. සීසර්ව මරපු අය හිටියෙ බයවෙලා. සීසර්ව මරපු විදිහ ගැන ඊයෙ ලිපියේ දි මම ලිව්වා.

ලේ විසිවුනා. සෙනෙට් සභිකයො රංචුවක් ම සීසර්ව වටකරගත්තා..” (ලිපියේ පළමු කොටස කියවන්න මෙතනින්)

සීසර්ව මරපු අයට දඬුවම් කරන්නෑ කියලා මාක් ඇන්තනී ප්‍රකාශයක් නිකුත් කෙරුවා. ඒ වගේ ම ජුලියස් සීසර්ගෙ රාජ්‍ය නිළධාරීන්ට ඒ තනතුරුවල ම ඉන්න ඉඩ දුන්නා. රෝමය ටිකක් කාම් ඩවුන් කරන්න මේ වැඩේ උදව්වක් උනා. දවසක් දෙකක් යද්දි රෝමයේ සාමාන්‍ය මිනිස්සු සීසර්ගේ මරණය ගැන ඕපාදූප ටික දැනගත්තා.

සීසර්ව මැරුවෙ රෝමයේ යහපතට ය කියන එක ගොඩක් අය පිලිගත්තෙ නෑ. සීසර්ව මරපු පලිය ගන්න අදහස මාක් ඇන්තනී අතෑරියෙත් නෑ. ඒ උනාට පලි ගන්න ඉක්මන් වෙලා බෑ. රෝමයේ පාලකයා වෙන්න නම් ඉවසන්න ඕන.

වැඩේ අල උනා. සීසර් එයාගෙ උරුමක්කාරයා විදිහට නම් කරලා තිබුනෙ ඒ වෙද්දි ග්‍රීසියේ හිටපු ඔක්ටේවියන් කියන කොලු ගැටයාව. මිනිස්සු ඒක දැනගත්තා. අපි ඔක්ටේවියන්ගෙ පැත්තෙ. කට්ටියක් කිව්වා. අපි මාක් ඇන්තනීගෙ පැත්තෙ. අනික් කට්ටිය කිව්වා. අපිට ඕන සීසර්ව මරපු පලිය ගන්න. තව පිරිසක් කිව්වා. ලිබරේටර්ස්ලා තමයි හරි. තවත් පිරිසක් කිව්වා. රෝමය සීසීකඩ වෙලා මිනිස්සු-සෙබලු-සෙන්පතියො කණ්ඩායම්වලට බෙදුනා.

මාක් ඇන්තනී ගැන මෙලෝ අල බෝලයක් සීසර් එයාගෙ අන්තිම කැමැත්තෙ සඳහන් කරලා තිබුනෙ නෑ. ඒ කියන්නෙ මාක් ඇන්තනීට රෝමෙ පාලකයා වෙන්න බෑ.

ඔක්ටේවියන්ට යාන්තම් වයස 18 ලැබුවා විතරයි. ඒ මදිවාට ලෙඩ පාට දුර්වලයෙක්. එයාට තිබුනු එක ම දේ මැරුණු සීසර්ගෙ ආශීර්වාදය විතරයි. ඕන මඟුලක් කියලා ඔක්ටේවියන් ග්‍රීසියේ ඉඳන් රෝමයට ආවා. මේකා නම් මාක් ඇන්තනීට කොහෙත් ම අභියෝගයක් නෙවෙයි. හැමෝම එහෙම හිතුවා.

මාක් ඇන්තනීට බයේ හිටපු සෙනෙට් සභාව ඔක්ටේවියන්ව පිලිගත්තා. හැබැයි කොල්ලා මොළකාරයා. සෙනෙට් සභිකයින්ගෙන් සීසර්ගෙ හමුදාව එයා වෙන් කෙරුවා. කරලා සෙබලුන්ගෙ කැමැත්ත එයා වෙතට නම්මගත්තා.

මේ වෙද්දි රෝමෙ ගම්මානවල මිනිස්සු යුද්ධ පටන් අරන්. සීසර් නැති හින්දා සෙන්පතියො එක්ක විවිධ කල්ලි ගැටුනා.

මාක් ඇන්තනී රෝමයෙන් පිටවුනා. ඔක්ටේවියන් රෝමයේ නැවතුනා. මාක් ඇන්තනීට ඕන උනා ඔක්ටේවියන්ව යුද්ධ කරලා පරද්දන්න. දෙන්නා යුද්ධයක් පටන් ගත්තා. ඔක්ටේවියන්, සෙනෙට් සභාව සහ සීසර්ගෙ සෙබලු එක පැත්තක්. මාක් ඇන්තනී අනෙක් පැත්තෙ. යුද්ධයෙන් මාක් ඇන්තනී පැරදුනා. හැබැයි අනෙක් පැත්තටත් බරපතල හානි.

සෙනෙට් සභිකයෙක්ව නායකයා කරගමු කියලා සෙනෙට් සභාව කිව්වා. ඔක්ටේවියන් ඒකට කැමති උනේ නෑ. තාමත් රෝමයේ ශක්තිවන්තයා තමයි මාක් ඇන්තනී. ඔක්ටේවියන් ගියා මාක් ඇන්තනී එක්ක සාකච්ඡාවකට. රෝමය ගොඩනඟන්න නම් සෙනෙට් සභිකයින් ඇතුලු හමුදා අතුගාලා දාන්න වෙනවා. දෙන්නා තීරණය කෙරුවා. ඒ අස්සෙ රෝම ගම්මානවල ගහගන්නවා හිටු කියලා.

මාක් ඇන්තනී, ඔක්ටේවියන් සහ ලෙපිඩුස් කියන තුන්දෙනා එකතු උනා. සීසර්ගෙ පරණ හමුදාව හිටියෙ එයාලා තුන්දෙනා ළඟ. මේ අයට කිව්වෙ රජ තුන්කට්ටුව කියලා. රෝමයට මේ වගේ රජ තුන්කට්ටු දෙකක් හිටියා. පළවෙනි එක හිටියෙ ජුලියස් සීසර්ගෙ කාලෙ. මේ තමයි දෙවැනි තුන්කට්ටුව.

තුන්දෙනා රෝමය බෙදුවා. කොටස් තුනකට කඩලා පාලනය පටන් ගත්තා. සීසර්ව මරපු පලිය ගන්නා බවට තුන්දෙනා එකඟ උනා. එයාලගෙ පාලන ප්‍රදේශවල හිටපු හතුරෙකුගෙ මයිලක්වත් ඉතිරි කෙරුවෙ නෑ. සැක හිතුනාද මරා දැම්මා. රෝමය ලේ විලක් උනා.

රජ තුන්කට්ටුව ඔහොම ඉද්දි, රෝමයේ නැගෙනහිර පැතිවල එයාලට විරුද්ධ සේනාවක් සංවිධානය උනා. ඒ තමයි සීසර්ව මරපු කට්ටිය. ලිබරේටර්ස්ලා. එහෙම නැත්නම් විමුක්තිවාදීන්. බෘෘටස් සහ කැෂියස්ගේ නායකත්වයෙන් එයාලා දසදහස් ගානක හමුදාවක් හැදුවා. එයාලා ප්‍රජාතන්ත්‍රවාදී රෝමයක් වෙනුවෙන් සටනට එන්න ලෑස්ති උනා. මේක මාක් ඇන්තනීට ආරංචි උනා.

මාක් ඇන්තනී අවුරුදු දහ අටේ පොඩි එකාවත් අරන් යුද්ධෙට ගියා. මැසිඩෝනියාවෙ ෆිලිප්පිවලදි දෙගොල්ලො හම්බ උනා. ඒක තමයි යුද්ධෙ! එතැන මහා යුද්ධ දෙකක් සිද්ධ උනා. දෙක ම අවසානයේ ලිබරේටර්ස්ලා සමූල ඝාතනය උනා. බෘෘටස් සහ කැෂියස් සියදිවි නසාගත්තා.

රෝමයේ “ජනරජ“ කතාව එතැන ම ඉවර උනා.

අන්තිමේ දි මාක් ඇන්තනීටයි ඔක්ටේවියන්ටයි අසීමිත බලයක් ලැබුනා. ලෙපිඩුස් කොන් උනා. රෝමයේ කුඩා කොටසක් අරන් ලෙපිඩුස් වෙන්වුනා. තුන් කට්ටුව කැඩුනා. තාමත් සීසර්ගෙ මරණයේ උණුසුම මැකිලා නෑ.

නැගෙනහිර රෝමය මාක් ඇන්තනී බාරගත්තා. ක්ලියෝපැට්‍රා ගැන ලිපියේදි මම ලිව්වා නැගෙනහිර රෝමයේදි මාක් ඇන්තනීයි ක්ලියෝපැට්‍රායි හාද වීම ගැන. ක්ලියෝපැට්‍රා තමයි ඊජිප්තු රැජින. රෝම මිනිස්සු කැමති උනේ නෑ විදේශීය පාලකයො රෝමයට අත දානවාට. රෝමය විදෙස් රාජධානියක් බවට හැරෙයි කියන බය එයාලට ආවා.

ඔක්ටේවියන් මේකෙ වාසිය ගත්තා. එයා තමයි රෝමයේ රැකවලා කියන මතය රෝමවරුන්ට ඒත්තු ගැන්නුවා. රෝම සංස්කෘතිය, දේශපාලන අභිමානය, රෝමයේ වටිනාකම් රකින පාලකයා තමන් බව එයා කිව්වා. මාක් ඇන්තනී නිකම්ම පරදේසක්කාර රැජිනකගෙ පෙම්වතෙක් ය කිව්වා.

මාක් ඇන්තනීට යි ක්ලියෝපැට්‍රාට යි විරුද්ධව ඔක්ටේවියන් යුද්ධයකට ගියා. ක්ලියෝපැට්‍රාට තිබුනා ලොකු නාවික හමුදාවක්. මේ මහා යුද්ධයෙන් වැඩි හරියක් සිද්ධ උනේ මුහුදේ. මේක සිද්ධ උනේ ඇක්ටියුම් කියන ග්‍රීක නගරයේදි. ඒක හරිම ලස්සන වරාය නගරයක්. ඔක්ටේවියන් වෙනුවෙන් නාවික හමුදාවට අණ දුන්නෙ ‘මාකස් ඇග්‍රිප්පා‘.

මාකස් ඇග්‍රිප්පා කියන්නෙ රෝමය ගැන කියවද්දි කියවන්න ම ඕන කෙනෙක්. එයා ගැන පස්සෙ වෙලාවක ලියන්නම්.

මාකස් ඇග්‍රිප්පාගෙ නාවික බල ඇණියට මාක් ඇන්තනීයි ක්ලියෝපැට්‍රායි පැරදුනා. පැරදුනා නෙවෙයි කුඩුපට්ටම් උනා. මාක් ඇන්තනී ක්ලියෝපැට්‍රාත් එක්ක ඊජිප්තුවට පැනලා ගියා. ඊට පස්සෙ වෙච්ච දේ ක්ලියෝපැට්‍රාගෙ මරණය ගැන ලිපියෙදි පහුගිය දවසක මම ලිව්වා.

ඔක්ටේවියන් රෝමයේ තනි පාලකයා උනා. එයා රජ උනේ ඔගස්ටස් සීසර් නමින්. මාකස් ඇග්‍රිප්පා තමයි ඔගස්ටස් සීසර් ලෝකය ම පාලනය කරද්දි එයාගෙ වන් මෑන් ආමි එක උනේ.

ඔන්න ඕකයි සීසර්ව මැරුවහම රෝමයේ සිද්ධ උන අලකලංචිය. ලිපිය දිග වැඩි උනා. සීසර්ව මැරුවෙ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න ඕනෑවට. අන්තිමේ ජනරජය අවසාන ම උනා. රෝමය තනි පාලකයෙක් අතට පත්වුනා. සෙනෙට් සභාව නමට සීමා උනා. රෝම “අධිරාජ්‍යය“ ආරම්භ උනා.

 

 

82783738 2786626964790067 4035635985256546304 n

 

 

 සටහන : | නුවන් ඉෂාර මහගමගේ

( මෙම සටහන 'Nuwan Ishara Mahagamage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී) 

kemadasa

shungara

Back to top
Go to bottom