-Priyanjan Suresh De Silva -
ගොඵ හදවත යනු 60 දශකයේ මෙරට බිහිවූ සාර්ථකම ප්‍රේම කතාව විය. පාඨකයන් විශාල පිරිසක් ආදරයෙන් වැළඳගත් එම නවකතාව කරුණාසේන ජයලත්ගේම අත්දැකීමක් බව දන්නේ ඉතා සුඵ පිරිසකි.
ජයලත් අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා මහා විද්‍යලයෙනි. එකල ඔහු ඩී.කේ. ජයලත් විය. කලෙක නවකතාකරුවකු, මාධ්‍යවේදිියකු හා සිනමා විචාරකයකු ලෙස ප්‍රසිද්ධියට පත් ඔහු කරුණාසේන ජයලත් නමින් ප්‍රකට විය. කලක් සිරිලක පුවත්පතේ කතුවරයා වූ ජයලත් නවකතා රැසක් රචනා කළේය.
ගොළු හදවත, බඹා කෙටූ හැටි, මුව දඩයම, ලස්සන ඇස්, ගැහැණු ළමයි, පිරුණු හදක්, යහළු යෙහෙළි, මව සහ දුව, ඇවැස්ස නෑයෝ, හතුරු හිතක්, රිදී නිම්නය, සතීගේ කතාව, කුල කුමරිය වැනි නවකතා ඔහු රචනා කළ අතර ඒ අතරින් වඩාත් ජනප්‍රියම නවකතාව වූයේ ගොළුහදවතය.
ඔහුගේ එම ප්‍රේමණිය නවකතාවේ ප්‍රධාන චරිත තුනක් විය. ඒ සුගත්, දම්මි සහ නිහාල්ය. මේ තිදෙනාම සැබෑ චරිත වූහ. එවක හොරණ තක්ෂිලාවේ සිටි එක්තරා යුවතියක පිළිබඳව ජයලත්ගේ සිතෙහි ප්‍රේමයක් ඇති වී තිබිණි. ඇයට වෙනත් පන්තියක සිටි සිසුවකුද ඇලුම් කළ බැව් ඔහු දැන සිටියේ නැත. අවසානයේ ඔවුන් දෙදෙනාටම එම යුවතිය හිමි වූයේ නැත. ඔහු තම නවකතාවේ දම්මිගේ චරිතය මැවුවේ එම යුවතියගේ චරිතය පදනම් කර ගනිමිනි.
එදා තක්ෂිලාවේ සිටි දම්මිට පෙම්කල නිහාල් දොන් බෝල්ඩ්වින් කුරුප්පු නොහොත් ඩී. බී. කුරුප්පුය. ඔහුද ප්‍රකට ලේඛකයකු විය. ජීවිතයේ අවසන් කාලයේ ඔහු ජීවත් වූයේ ඔස්ට්‍රේලියාවේය. ඔහුගේ පසුකාලින කෘති කිහිපයක් සඳහා පිටකවර නිර්මාණයෙන් දායක වීමට මට හැකි විය. එම සම්බන්ධතාව ගොඩනගා දුන්නේ අප මිතුරු නිමල් දිසානායකය.
නවකතාවේ සුගත් සැබැ කතාවේ ජයලත් විය
හොරණ තක්ෂිලාවේදී ජයලත්ගේ හා බෝල්ඩ්වින්ගේ ප්‍රේමයට පාත්‍ර වූ දම්මි කුරුප්පු ආරච්චිගේ පද්මා නාලනී ගුණරත්නය.පසු කාලයේ ජයලත් තක්ෂිලාවේම උගත් රූපා නම් යුවතියක සමග විවාහ විය. කුරුප්පුද වෙනත් යුවතියක හා විවාහ වී පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය. පද්මා නාලනීද විවාහයෙන් පසු පද්මා ගුණරත්න විය.
ජයලත් අද අප අතර නැත. නිහාල් වූ බෝල්ඩ්වින් ද අප අතර නැත. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයට මැදිව ප්‍රේමණීය නවකතාවක් නිර්මාණය කරන්නට දායක වූ පද්මා නාලනී ගුණරත්නෙද 2018 මැයි මස 22 දින ජීවිතයෙන් සමුගත්තාය.
එහෙත් ගොළු හදවත 60 වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙරට පාඨකයන්ගේ සිත්තුළ සදානුස්මරණීය නවකතාවක් බවට පත්ව ඇත්තේය. ඔහුගේ සෑම නවකතාවකම නමේ විශේෂත්වයක් තිබේ. සෑම නවකතාවකම නමට ඇත්තේ අකුරු හයකි. පද්මා නාලීනී යන්නටද ඇත්තේ අකුරු හයකි. පද්මා සිහිපත් වීම සඳහා ඔහු අකුරු හයකින් යතුව තම නවකතා නම් කළේදැයි මම නොදනිමි.
පද්මා නාලිනී මහත්මිය පිළිබඳ තොරතුරු ලබා දුන්නේ අප හිතවත් පාලිත නාරංගොඩ මහතා විසිනි.පද්මා නාලිනී ගුණරත්න මහත්මිය නාරංගොඩ මහතාගේ මවගේ එකම සොහොයුරියයි.
සටහන - ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
(සටහන සහ ඡායාරූප - "Priyanjan Suresh De Silva" මුහුණු පොත ඇසුරිනි)
පද්මා නාලිනී පාසල් වියේ
පද්මා නාලිනී ගුණරත්න
කරුණාසේන ජයලත් තරුණ වියේදී
කරුණාසේන ජයලත්

බෝල්ඩ්වින් කුරුප්පු
1969 වර්ෂයේ ප්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ "ගොළු හදවත" චිත්‍රපටයේ රූප රාමුවක්
















