- Luckshman Aranwala -
Ne zha කියන කැරැක්ටර් එක වගේම තමා 'Ne Zha 2' (2025) ඇනිමේෂන් චිත්‍රපටයත්. ලෝකය පුරාම මහා පෙරළියක් සිදුකළා. හරියට නපුරට එරෙහිව Ne Zha සටන් කළා වගේම තමා.

මම කලින් දවසකදි කිව්ව වගේ 2019 දි නිකුත් උන මේ චිත්‍රපටයේ පළමු කොටස නරඹන්නට උනන්දුවක් ආවෙම මේ 'Ne Zha 2" විසින් ලොව පුරාම තැබූ ආදායම් වාර්තා සම්බන්ධව නිරන්තරයෙන්ම පුවත් මවන්නට පටන් ගත් නිසායි.
'ළමා මුහුණක් ඇති නචා' ලෙස සිංහලයට පරිවර්තනය වූ “Ne Zha” (පළමු කොටස කියවන්න මෙතනින්)
හොලිවුඩ් නොවන ඇනිමේෂන් චිත්‍රපටයක් ඩොලර් බිලියන 2 ක ආදායමක් ලබලා ලෝකෙ අංක එකේ ඇනිමේෂන් චිත්‍රපටය බවට පත්වුණා කියල ඇහුවම මොකක්ද මේකෙ මෙච්චරටම තියෙන්නෙ කියන කුතුහලය කොහොමත් ඇති වෙනවමනේ. සිනමා ශාලාවකම නරඹන්නට ලැබුණා නම් මේක වන්ස් ඉන් අ ලයිෆ්ටයිම් මූවි එක්ස්පීරියන්ස් එකක් වෙන්නත් තිබ්බා.

දෙවන කොටස පළමු කොටසට වඩා ඇක්ෂන්ස් වලින් ප්‍රබලයි. පළමු කොටසෙදි ගොඩක්ම ෆෝකස් වෙන්නේ Ne Zha ගෙ අනපේක්ෂිත යක්ෂ උපතත් එක්ක එයාගෙ අම්ම තාත්තා එක්ක සහ යක්ෂ පැටියෙක් විදිහට හංවඩු ගැසුණ නිසා තමන්ගෙම වැසියන් අතරේ ද්වේෂයකටත් ක්‍රෝධයටත් කොන් වීමකටත් ලක් වූ කුඩා දරුවෙක් සම්බන්ධයෙන් ගොඩනැගෙන අනුවේදනීය වාතාවරණයකටයි. පිටතින් යක්ෂ ස්වරූපයකින් හෙඹි, යක්ෂ වැඩම කරනා, මහාම එපාම කරපු යක්ෂයෙක් විදිහට හංවඩු ගැසුණු කුඩා දරුවෙක් දිහා බලන් ඉන්න එක ඉමෝෂනලි මාරම විදිහට දැනෙනවා. ඒ ඉන්නේ කුඩා දරුවෙක් කියන එක වඩාත් සංවේදීව ඉදිරිපත් කරන ඇස් වලට කඳුලු ආපු අවස්ථාත් පළමු කොටසේ තිබුණා.
දෙවෙනි කොටසෙදි නම් කොහොමත් අඬන්නම වෙනවා. අති ප්‍රබල ඇක්ෂන්ස් කුණාටුවක් අස්සෙම කඳුළු වැස්සකුත් ඇද හැලෙනවා. මෙහෙව් අද්විතීය චිත්‍රපටයක් ලොව පුරාම ආදායම් වාර්තා තබපු එක පුදුමෙකුත් නෙමේ කියන එක වැටහෙනවා. පුදුමය වෙන්නේ මේක මුලුමනින්ම චීන නිෂ්පාදනයක් වීමම තමා.

Ne Zha පළමු කොටස අවසාන වෙන්නේ තීරණාත්මක කඩ ඉමකින්. දැන් ඉතින් මොකක් වෙයිද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක එතනින් එහාට තමා නියම සෙල්ලම පටන් ගන්නේ. ඒ වෙනුවෙන් Ne Zha ට මුහුණ දෙන්නට සිද්ධවෙලා තියෙන්නේ තමන්ගෙ කැපෑසිටියට කොහෙත්ම ඔරොත්තු නොදෙන තරමේ අභියෝගයකටයි. ඒ අතරෙම පළමු කොටසෙදිත් අපව සංවේදී කළ, දෙමාපියන්ගෙ දාරක ප්‍රේමය කියන කොටස මෙවර වඩාත් තීව්‍රව ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේමයි මිත්‍රත්වයක බැඳීමත්.
හුළඟට ගහගෙන ගිහින් හොරු රැලක් ළඟට වැටුණ ගිරවා සහ තාපසයෙක් ළඟට වැටුණ ගිරවා කියන කන්සෙප්ට් එක කනපිට ගැහුණ අමුතුම වාතාවරණයක්නෙ මේක.
යහපත-අයහපත බෙදා වෙන් කෙරුණ ලෝකෙක නෙමේ සියල්ල මිශ්‍ර වූ අදෘශ්‍යමානව අයහපතම පමණක් රජ කෙරෙන රැවටිලිකාර ව්‍යුහයක අතරමං වූවෝ විදිහටයි දෙදෙනාවම පෙනෙන්නේ. ඒ අතරෙම අතිශය ආකර්ෂණීය රූප පෙළහරක් හා මුසුවෙන අතිදැවැන්ත ඇක්ෂන් ප්‍රවාහයක් එක්ක මුහුවෙලා ඉන්න ප්‍රේක්ෂකයාව ඒ මාත්‍රාවෙන්ම අතිශය සංවේදී තලයකත් රඳවනවා.
මේ වගේ දැනුණ ඇනිමේෂන් චිත්‍රපටයක් නම් මතකයේත් නැති තරම්. අනිවාර්‍යයෙන්ම නරඹන්නට කියල දැන් නම් අමුතුවෙන් කියන්නට ඕනෑත් නැහැ. ඉංග්‍රීසි බසින් නැවත තිරගත කෙරෙනවාලු. මෙහෙට නම් එන පාටක් නෑ.
සටහන -ලක්ෂ්මන් අරංවල
සිනමාවේදීන් - The Cinema People
(මෙම සටහන 'Luckshman Aranwala' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)
















