ඉතිහාස විෂයෙහි මෙතුවක් මතු කොට නොලිව්දෑ ලියන්නට පටන් ගතිමි.
මගේ ගුරුදේවාචාර පරපුරද මට කීවේ මේ තතු සමාජ - පාඨක ගත නොකර ඉන්නෙ නම් මැනවි කියාය. එපමණක් නොව අතීත ඥාන භාව කලාපයේ තතු වල කිමිදෙමින් යන විට හමුවූ විත්ති, අන්දර, පරම්පරා කතා, ජන බන්ධන කී බොහෝ අයද එයම කිවේය. පවත පතේ (පතපොතේ) නොලියා පවත පපුවේ ලියාගන්නා මෙනි. ඒ කී ලෙසම හඳ ගැබ නිදන් කොට තබාගත් දෑ එහි එහිම නිදන්ගත කොට ගෙනම තබාගතිමි. එනමුත් මහානාම හිමියන් මෙන්ම මොග්ගල්ලාන හිමියන් තම ඉතිහාස කෘතිවල මානව භාව ආල රාග කලාපය ගැන තබා ඇති රමණීය මතුකර තැබීම් එසේ තැබුවේ කිමදැයි සිතුවෙමි.
එම භාවයන් ලංකා ඉතිහාස අන්දරයේ අභන්තරයමය ද වේ. ඒ අතීත වටපිටාව වටහාගැනීමට ද මිනිස් ජීවයේ පොපියන ලාල ලලිතය හා ලයාදරයන් සම්මුඛ කිරීමද මේ සිදුවීම් ඔස්සේ සිදුවෙයි. මූල කතුවරුන් ලියා තබා ඇති දෑ වසන් කර තැබීම සාපරාධීය. එමෙන්ම එය ශාස්ත්‍ර විරෝධීය. තව අතකින් මනුෂ්‍යය ජීවයේ භාව හැඟුමන් පිරි ලෝකය මකා දැමීමකි.

මේ හද උපදින සිතුවිලි සමඟ ඉතිහාසය විෂයෙහි පරිපථය ඇතුලේ ගමන් කරමින්, ලියමින් සිටියෙමි. මේ ලියවුණු දෑ සමග මංගල සමරවීරයන් සමෝධාන වනුයේ මංගල සම්මත ලෙසය.
ඔහු තෙමේ වහා වහා මේ තතු ලියා තබා පසෙක ලියා තැබිම නොව ලියා තැබු දෑ ජනගත කිරීමට උනන්දු කළේය. මංගලයන්ගේ ජීවිත භාෂණය පවා අමුතුම විසල් පථයකට ගමන් කරනු මට පෙනිනි. අප දෙදෙනා ඉතිහාසය විසින් ලබැඳියන් කළේ මේ සමගය. ඔහු විටින් විට ඇවිටිලි කරමින් මගේ ශාස්ත්‍රීය කාන්සිය බිඳ දමා ලියමින් යන්නට පාර කැපුවේ රුවන් ප්‍රදිනන්දිස් සොයුරා බැඳ තබමින්. මංගලයන්ට මේ විෂය ගැන තිබූ පිපාසය උතුරාගලමින් දෝර ගලා යන්නේ ලංකා ඉතිහාසයේ ලෞකික නගරයාය සොයා ගමන් නරඹන්නට තීරණය කරමිනි.

මරණය ඉව කළ මහ වසංගතය ලොව වට කළ සමයේ අපි සක්‍රීය ඉතිහාස ආලවතුන් විය. අතීත භාවගාමින්ගේ මතක ස්මරණයන් හා සුසැඳි භාව උද්දීපනයෙන් මංගල පණ ලැබූ ඒ දින මගේ පරිකල්පන ලෝකයද පුළුල් කළේය. එත් ඔහු මරණය කරා ඉක්මන් ගමනක් ගියේ සියල්ල ශූන්‍යතාවයක ගිල්වමිනි. ඒ ශූන්‍යතාවයම අවබෝධයම නැගීමක් වූයේය.

මීට පෙර ‘වායාම’ ජනගත වූයේ ඔහුගේ සමු ගැනීමේ මතක නිමිති සමගය. මෙවර ඔහු නික්ම ගොස් සිව් වසරක එළඹෙන මේ අගෝස්තු 24 පාදක කොට එළි දකින්නේ ඒ ලියවුණු අනෙක් පොතය.
කිසි කාලෙක නොලියවුණු ඉතිහාසයේ මූලභාව රහස් දොර හැර තබමි. ‘රවාෂ’ ඒ පොතය. මංගල සමරවීරයන් සමුගෙන ගිය ලය ශෝකී මොහොතට සිව් වසරක් පිරෙන දා ලාංකික භාව කලාපයේ මිනිස් බන්ධනයේ ජීවන හැඟුම්කරණය ඔබට පුදමි. ‘රවාෂ’ මගේ අලුත් පොතය. මගේ තිස්වන කෘතියය. එය එළි දකින්නේ මංගල සමග ඉතිහාස කතිකාව සමෝධානය වෙමිනි.

සටහන - සුජිත් අක්කරවත්ත
(ඉතිහාසඥ / සාහිත්‍යවේදී)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සුජිත් අක්කරවත්ත විසින් රචිත 'රවාෂ' සහ 'වායාම' කෘති මිලදී ගැනීමට පිවිසෙන්න SLBOOKS.LK
Call / Whatsapp : 0777 - 342 809


















