මේ දවස් වල ආයෙත් ජාතික රූපවාහිනියේ ‘රොබින් හුඩ්’ කතා මාලාව විකාශය වෙනවා.
මෙතනදී විශේෂයෙන්ම මේ කියන්න යන්නේ මොන රොබින් හුඩ් ගැනද ද කියලා හඳුන්වලා දෙන්න ඕනෙ නැත්තේ නම ඇසූ සැනින් බොහෝ දෙනෙක්ගේ මතකයට එන්නේ මේ නිර්මාණය වීම නිසායි.
ඒ තරමටම බොහෝ දෙනෙක්ගේ ජීවිතයේ මතක අතර මේ රොබින් හුඩ් කතා මාලාව තැම්පත් වෙලා තියෙනවා.

ඉංග්‍රීසි සාහිත්‍යයේ අතිශයින් රසවත් වීර කතාවක් වූ රොබින් හුඩ් චරිතය අලලා නිර්මාණය උන සාතිත්‍ය නිර්මාණ, නාට්‍ය, චිත්‍රපට, ටෙලිනාට්‍ය ප්‍රමාණය බොහෝමයි.
ඒ අතරින් 1980 දශකයේ රිචර්ඩ් කාපෙන්ටර්ගේ තිර රචනයෙන් සහ HTV – Goldcrest Films සමූහ නිෂ්පාදනයෙන් එළි දැක්වුණු ‘Robin of Sherwood’ යන බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාව ලොව වටා ප්‍රේක්ෂකයන්ගේ වඩාත් සිත් දිනා ගැනීමට සමත් උන නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්.
1984 වර්ෂයේ සිට 1986 දක්වා කාලය තුළ තිරගත වූ ‘Robin of Sherwood’ , කථාංග 26කින් සමන්විත උනා.
මේ බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාව තමයි 1990 දශකයේ අග භාගයේදි ටයිටස් තොටවත්තයන් ඇතුළු හඬ කැවීමේ කණ්ඩායම, සිංහල උපශීර්ෂ සහිතව ‘ෂර්වුඩ් කැලේ රොබින්’ ලෙස ජාතික රූපවාහිනියෙන් ලාංකික රසිකයන් වෙත ප්‍රදානය කළේ.

ඒ වගේම මේ කතා මාලාවට රංගනයෙන් එක් උන රංගන ශිල්පීන් අතර,
මයිකල් ප්‍රේඩ් (Michael Praed) - (ලොක්ස්ලි හී රොබින්),
ජේසන් කොනරි (Jason Connery) – (රොබර්ට් - දෙවන රොබින් හුඩ්)
ජූඩි ට්‍රොට්ගේ (Judy Trott) – (මැරියන්)
Peter Llewellyn Williams - (මච්)
Clive Mantle – (ලිට්ල් ජෝන්)
Nickolas Grace (නොටින්ග් හැම් හි ෂෙරිෆ්)
Robert Addie (ගයි ඔෆ් ගිස්බන්)
Mark Ryan – (නසීයර්) අමතක නොවන චරිත විදිහට හඳුනගන්න පුළුවන්.
ඒ වගේම මේ කතා මාලාවේ සංගීත නිෂ්පාදනය පිළිබඳවත් කතා නොකරම බැහැ.
දුන්න අතැතිව හිස්වැස්ම පැළඳ සිටින ෂර්වුඩ් කැලේ රොබින් තිරයට පිවිසෙන්නේ පසුබිමේ Clannad සංගීත කණ්ඩායමේ ‘The Hooden Man’ නම් ගීතය වාදනය වන මොහොතේදීයි. අයර්ලන්ත නූතන ජන ගී කණ්ඩායමක් වන Clannad, 1984 – BAFTA සම්මාන උළෙලේදී Robin of Sherwood වෙනුවෙන් හොඳම ටෙලිවිෂන් සංගීතයට හිමි සම්මානය දිනා ගත්තා.
මේ කතා මාලාව මුල්වරට 90 දශකයේ ලංකාවේදී ජාතික රූපවාහිනී නාලිකාවෙන් විකාශය වූ වර සිට අද වෙනකන් අවස්ථා ගණනාවකදී විකාශය කරලා තියනවා.
ඒ නිසා මේ වෙනකොට මේ කතා මාලාව ආදරයෙන් වැළදගත්ත විවිධ වයස් කාණ්ඩ වලට අයත් ප්‍රේක්ෂකයෝ අති විශාල ප්‍රමාණයක් ඉන්නවා.
ඉතින්, පසුගිය දවස් වල සමාජ මාධ්‍යයේ ‘Robin of Sherwood’ කතා මාලාවේ මතකය ගැන රසිකයන් කිහිප දෙනෙක් එක් කරලා තිබුණ අපූර්ව සටහන් කිහිපයකුත් මේ සටහනේ ඔබත් සමග බෙදා ගන්නවා.
මේ අදහස් වලින් පැහැදිලි වන දෙයක් තමයි කොයි තරම් ගැඹුරින් මේ කතා මාලාව ප්‍රේක්ෂකයන්ට සමීප වෙලා තියෙනවද කියන එක.
මතු දැක්වෙන්නේ මෙලෙස මුහුණු පොතට එක් කර තිබූ ‘Robin of Sherwood’ කතා මාලාවේ මතකය පිළිබඳව අපූර්ව රසික අදහස් කිහිපයක්.
"මෙන්න මේ මනුස්සයා අර කන්ද උඩ ඇල්බියන් කඩුවත් අරගෙන ගිහින් තනියම ඉතුරැ වෙච්ච අන්තිම ඊතලයත් විඳලා දුන්න කඩලා දානකොට අර ඒ කාලේ අපේ දුෂ්ථතම හතුරා ගිස්බන්ගේ සෙට් එක පහල ඉදන් එක දිගට ඊතල විදලා රොබින්ව මරලා දාපු දවස තියෙනවා නේද යකෝ එදා රෑ මං කෑවෙත් නෑ....
කඳුළු පිහ පිහ ගිහින් නිදා ගත්තේ..හරියට ගෙදර එකෙක් මැරනා වගේ feeling එකක් ආවේ....එළිවෙනකං නින්දක් නෑ...පුදුම දුකක්...රොබින් මැරැණ එක ගැන සංතාපය....පහුවදා ඉස්කෝලේ ගිහින් කතා උනෙත් රොබින්ගේ මරණය ගැන.....අඩෝ අපි එහෙම හිටපු මිනිස්සු හරිය.....ඒක දන්නෙ ඉතිං 80 ගණන්වල මුලින්ම රොබින්හුඩ් බලපු අපේ කාලේ උන් ටික....
මං වගේ මේ මනුස්සයා මැරැන දවසේ නොකා නොබී නිදාගත්ත උන් තවත් සිටිත්ද....."
උපුටා ගැනීම - ('Amal attanayake' ගේ ෆේස් බුක් පිටුව ඇසුරිනි)

"මං ඒ වගේ නොකා නොබී නිදාගත්ත තව එකෙක්!
ඒ විතරක් නෙමේ ඒ දුකටයි තරහටයි ඊටපස්සෙ ආපු හාල්මැස්සෙක් වගේ රොබට් ට බැණ බැණ තමා කතාව බැලුවේ "නෙද්දකින් මුගෙ කැත, මූට පුළුවන්ද රොබින් වෙන්න හහ්, ගිස්බන් දෙකක් ඇන්නම විසික් වෙයි" කිය කිය. ඔටුවා මැරිච්ච සුල්තාන් වගේ...
හැබැයි රොබින්හුඩ් බලන කාලෙ ආසම එක දෙයක් වෙනස් වුණේ නෑ, මොන රොබින් ආවත්. Necto, Edna & Kandos පරණ සුපිරි ඇඩ්ස් ටික සහ කැලේ ඇතුළේ පාර්ටි වලදි අර ගෑනු මිනිස්සු flower crowns දාගෙන නටන ලස්සන නැටුමයි, ඒ වෙලාවට යන background music එකයි. ඒ තරම් සුන්දර නොස්ටැල්ජියාවක්!"
උපුටා ගැනීම - 'Yesha Fernando' මුහුණු පොත ඇසුරිනි

"කළු රොබින්ට පුදුම තරම් ආදරේ වෙනවා. ඒ වගේ පෙම්වතෙක් ගැන හීන මවනවා. ඒ කොන්ඩේ, ඒ ඇස්, ඒ ජෝ ලයින් එක, ඒ නහය, ඒ දෙතොල් එහෙ මෙහෙ වෙන විදිය, නහය නහයේ නොවද්දා බෙල්ල පැත්තකට ඇල කරලා මුදුවට හාදුවක් දෙන විදිය...හීනෙනුත් දකිනවා.
ලොකු උනාම කවදාහරි මැරියන් වගේ ලස්සන වෙන්න පතනවා. එයා තමයි රූමත් බවේ පරමාදර්ශය. බිම වැටුනු මල් වලින් රීත් එකක් හදලා ඔළුවට දාගෙන ශර්වුඩ් කැලේ සරන බව හිතාගෙන හීනෙන් වගේ මිදුලේ එකල මෙකල වෙනවා.
කළු රොබින් මැරෙනවා. හදවත බිඳෙනවා. සතියක් විතර අඬනවා. දුකටම ඊගාව කොටස නොබලා අරිනවා.
සුදු රොබින් පේන්න බැරි වෙනවා. කළු රොබින් එක්ක කම්පෙයා කර කර ඇද හොයනවා. එපිසෝඩ්ස් දෙක තුනක් යනවා. මෙන්න අර අමුතු ඇක්සන්ට් එකත් එක්ක සුදු රොබින් ලස්සනට පේන්න ගන්නවා. එයා ශෝන් කොනරිගේ පුතා බවත් දැනගන්නවා. එයා එක්ක ආදරෙන් බැඳෙනවා.
සුදු රොබින්ගේ ලෙජන්ඩ් එක ඉරව වෙනවා, ආයෙමත් හදවත බිඳෙනවා. සතියක් විතර අඬනවා. ආදරේ වෙනුවෙන් දුක් වෙනවා. මැරියන් වෙනුවෙන් දුක් වෙනවා. යුක්තිය වෙනුවෙන් දුක් වෙනවා. ආයිම කාලේකට පස්සේ රොබින් ඔෆ් ශර්වුඩ් ටෙලිකාස්ට් වෙනවා."
(මෙම සටහන 'Maheshi B Weerakoon' ගේ මුහුණු පොත ඇසුරිනි)
(මෙම ලිපිය සකස් කිරීමේදී ‘Robin of Sherwood’ රූපවාහිනී මාලාව පිළිබඳ විස්තර ලබා ගැනීමේදී අන්තර්ජාල මූලාශ්‍ර මත තොරතුරු ලබා ගන්නා ලදී. ( roar media archive සිංහල වෙබ් අඩවිය ඇසුරින් තොරතුරු ලබා ගන්නා ලදී)
















