-Samila De Silva-
ජෝජියෝ අර්මානී (Giorgio Armani) වර්ෂ 1934 ජූලි 11 වන දින ඉතාලියේ Piacenza හිදී උපත ලැබුවා.
ඔහුගේ පියා නැවක කළමනාකරුවෙක්. ඔහුට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටියා. ළමා කාලයේදී දෙවන ලෝක යුද්ධයේ දුෂ්කරතා අත්විඳි අමානී, තම පවුල සමඟ කුඩා නිවසක ජීවත් වුණා.
ඔහු තරුණ කාලයේදී වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පටන් ගත්තත්, දෙවන වසරෙන් පසු එය අතහැර දැමුවා. පසුව ඔහු මිලාන් හී Rinascente දෙපාර්තමේන්තු ගබඩාවේ ඇඳුම් ප්‍රදර්ශන කුටි සකස් කරන්නෙක් (Window Dresser) ලෙස රැකියාවක් ආරම්භ කළා.
එය ඔහුගේ විලාසිතා ලෝකයේ පළමු පියවර වුණා. මේ කාලයේදී ඔහු විලාසිතා සහ රෙදිපිළි පිළිබඳ විශාල දැනුමක් ලබා ගත්තා.
1960 දශකයේදී ඔහු සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරුවෙකු වන නිනෝ චෙරූටි (Nino Cerruti) යටතේ සේවය කළා.
ජෝජියෝ අර්මානී තරුණ වියේ
එහිදී ඔහු පිරිමි ඇඳුම් නිර්මාණය කිරීමේ අත්දැකීම් ලබා ගත්තා. වසර ගණනාවක් වෙනත් විලාසිතා ආයතන කිහිපයක සේවය කිරීමෙන් පසු, ඔහු තනිවම වැඩ කිරීමට පටන් ගත්තා.
ඔහුගේ සහකරු වන සර්ජියෝ ගැලියොට්ටි (Sergio Galeotti) සමඟ එක්ව වර්ෂ 1975 දී, Giorgio Armani S.p.A. සමාගම පිහිටෙව්වා.
ජෝජියෝ අර්මානී සහ ඔහුගේ ප්‍රධාන සහකරුවා වූ සර්ජියෝ ගැලියොට්ටි (Sergio Galeotti) ගේ ඡායාරූපයක්
ජෝජියෝ අර්මානීගේ ප්‍රධානම සුවිශේෂීත්වය වන්නේ ඔහු පිරිමි ඇඳුම් සඳහා ගෙන ආ වෙනසයි. වර්ෂ 1980 ගණන්වලදී ඔහු විසින් නිර්මාණය කරන ලද ලිහිල්, මෘදු හා සිල්ක් රෙදිවලින් නිම කරන ලද සූට් ජනප්‍රිය වුණා.


ඔහුගේ මෙම නිර්මාණ, සාම්ප්‍රදායිකව දැඩි හා අපහසු ඇඳුම්වලට වඩා සුවපහසු සහ අලංකාරවත් බවක් එක් කළා.
මෙම නව විලාසිතාව "Power Dressing" ලෙස හැඳින්වුණ අතර, එය ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් අතර ඉතා ජනප්‍රිය වුණා.
වර්ෂ 1980 දී තිරගත වූ "American Gigolo" චිත්‍රපටයේ නළු රිචඩ් ගියර් (Richard Gere), අර්මානිගේ ඇඳුම් ඇඳීමත් සමඟ ඔහුගේ නම ලෝක ප්‍රසිද්ධ වුණා.
"American Gigolo" චිත්‍රපටයේ නළු රිචඩ් ගියර් (Richard Gere) අර්මානිගේ ඇදුම් විලාසිතා වලින් සැරසී
අර්මානි විලාසිතා ලෝකයේ විවිධ අංශ වෙත සිය ව්‍යාපාරය පුළුල් කළා. ඒ අතර, Emporio Armani, Armani Exchange (A|X), Armani Privé: haute couture, Armani/Casa, Armani Beauty වැනි බොහෝ නිෂ්පාදන ඔහු ඉදිරිපත් කරනු ලැබුවා. මීට අමතරව, ඔහු ලොව පුරා හෝටල් සහ නිවාඩු නිකේතනද ආරම්භ කළා.
අර්මානි තම පෞද්ගලික ජීවිතය ගැන එතරම් ප්‍රසිද්ධියේ කතා නොකළත්, ඔහුගේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයා වූයේ ඔහුගේ ව්‍යාපාරික සහකරු සර්ජියෝ ගැලියොට්ටිය. ගැලියොට්ටිගේ මරණයෙන් පසුවත් අමානි, තනිවම සිය ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියා.
විලාසිතා ලෝකයේ කීර්තිමත් පුද්ගලයෙකු වූ ඔහු, සරල සහ අලංකාර නිර්මාණ සඳහා පුරෝගාමී වුණා. ඔහුගේ නිර්මාණ බොහෝ නිර්මාණකරුවන්ට ආදර්ශයක් වුණා. ඔහු විසින් නිර්මාණය කරන ලද විලාසිතා විලාසයන් පරම්පරා ගණනාවක් පුරා අඛණ්ඩව ජනප්‍රියව පැවතුණා.
ජෝජියෝ අර්මානීගේ ඡායාරූපයක්
ජෝජියෝ අර්මානී, වර්ෂ 2025 සැප්තැම්බර් 04 වන දින වයස අවුරුදු 91 දී අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ මරණය විලාසිතා ලෝකයට විශාල පාඩුවක්. ඔහු තැබූ උරුමය සහ විලාසිතා ලෝකයට කළ දායකත්වය සදහටම පවතිනු ඇත!

සටහන - සමිල ද සිල්වා
( 'Samila De Silva' මුහුණු පොත ඇසුරිනි)
















