lan englan tam

“පුංචි ක්ලියෝපැට්‍රා පුස්තකාලයට ඇතුළු උනා"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Nuwan Ishara Mahagamage-

පුංචි ක්ලියෝපැට්‍රා පුස්තකාලයට ඇතුළු උනා.

ප්‍රවේශ දොරටුව ළඟ ම හිටගෙන හිටපු පොත් තබන්නා හිස නැමුවා. කුමරියට ඉඩ දී පසෙකට උනා.මේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය. මීට වසර 2086 කට පෙර.

“ක්ලියෝපැට්‍රා කුමරිය, අද වේලාසන ම?“ පොත් තබන්නා ප්‍රශ්න කෙරුවා.

කිසිත් නෑහුනු ගානට ක්ලියෝපැට්‍රා පුස්තකාල ශාලාවේ ඉස්සරහට ගියා. පුස්තකාලය තිබුනෙ මහ විසාල කුළුණු සමූහයක් මත. ඒ හැම කුළුණක් ම අඩි තිහ හතලිහක් උස යි. මේ කුළුණුවල පාදම කවාකාර යි. ඉහළ කොටස හතරැස්. ඔය හතරැස් කොටසෙ වටේට තිබුනා එක එක කැටයම්. ඒ කැටයම් අතර තිබුනු කාන්තා රූපයක් ගැන ක්ලියෝපැට්‍රා නිතර ම අවධානය දුන්නා.

ඒ තමයි 'මියුසස්‘ ගුරුතුමා දවසක් ක්ලියෝපැට්‍රාට කිව්වා.

මියුසස් කියන්නෙ ග්‍රීක දෙවඟනන් පිරිසක්. එයා තනි කෙනෙක් නෙවෙයි. කිහිප දෙනෙක්. මේ හැමෝම කලාවට අධිපති අය. මියුසස් දෙවඟනන් ඉපැදුනේ ඔලිම්පස් කන්ද පාමුල බවයි ග්‍රීක මිත්‍යා කතාවල කියන්නෙ. ඔය ඔලිම්පස් කන්ද කියන්නෙත් එසේ මෙසේ කන්දක් නෙවෙයි. කඳු මුදුන් විතරක් පනස් ගානක් තියෙන මහ විසාල එකක්. ග්‍රීක දේවකතාවල උපත! හරියට මහමේරුව වගේ. ඕක පාමුල මියුසස්ලා ඉපදුනු එක පුදුමයක් නෙවෙයි.

හෝමර් කියන පුරාණ කවියා ලිව්වා ‘ඔඩිසි‘ කියලා වීර කාව්‍යයක්. අන්න ඒකෙ කියනවා මියුසස් දෙවඟනන් 9 දෙනෙක් හිටපු බව. මේ අය මුල් කාලෙ නම් සංගීතය, නාට්‍යය වගේ දේවල් කරමින් අහල පහල ගං හතක් ම කලාවෙන් පුරවාපු ගැහැණු උදවිය. කොහොමහරි මේ නව දෙනා තමයි කලාව, සාහිත්‍යය වගේ සකල කලාංගයන්ට අධිපති උනේ. හරියට පෙරදිග ලෝකයේ දි සරස්වතිය වගේ.

ක්ලියෝපැට්‍රා මියුසස් දෙවඟනට කැමතියි. ඊට හේතු දෙකක් තිබුනා.

පළමු හේතුව උනේ මේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය පුද කරලා තිබුනෙ මියුසස් නමට. පැරණි ඊජිප්තුවේ තිබුනු කලා සංස්කෘතික ශාලාව තමයි මියුසියම කියන්නෙ. ඒක අධ්‍යාපන මධ්‍යස්ථානයක්. අන්න ඒ මියුසියමෙ එක කොටසක් තමයි මේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලෙ. ඉතින් ක්ලියෝපැට්‍රාට දැනුනෙ මියුසස් මේකෙ සදාකාලික පුස්තකාලයාධිපති ගානට. ක්ලියෝපැට්‍රා කියන්නෙ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයට අසීමිත ලෙස පෙම් කරපු ගැහැණියක්. (මේ කියන දවස් වෙද්දි දැරියක්)

ජුලියස් සීසර්ගෙ ආක්‍රමණය වෙලාවෙ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයේ කොටසක් අහම්බෙන් ගිනි ගත්තා. ක්ලියෝපැට්‍රා ඒක සැළකුවෙ එයාගෙ වස්තුව කොල්ලකෑවා හා සමානව. මේ පුස්තකාලය හැදුනෙ ක්ලියෝපැට්‍රා උපදින්න අවුරුදු දෙසීයකටත් කලින්. දෙවැනි ටොලමි රජතුමාගෙ කාලෙ. ඊටත් කලින් ඉඳන් තමයි පුස්තකාලය සැළසුම් කරලා තිබුනෙ. ඒක තමයි පැරණි ලෝකයේ තිබුනු අපරදිග දැනුම් ගබඩාව.

ඒ හින්දා ක්ලියෝපැට්‍රා මියුසස්ට කැමතියි.

දෙවැනි හේතුව තමයි මේ මියුසස් භාෂා ඥානයටත් ප්‍රසිද්ධ කෙනෙක් වීම.

ටොලමි රාජ වංශය අවුරුදු තුන්සිය ගානක් ඊජිප්තුව පාලනය කෙරුවා. ක්ලියෝපැට්‍රා උපදින්න කලින්. එයාත් ටොලමි වංශයේ. හැබැයි මේ හැම රජ කෙනෙක් ම කතා කෙරුවෙ ග්‍රීක භාෂාව. මිසර වැසියො ග්‍රීක දැනන් හිටියෙ නෑ. එයාලා බහුතරයක් කතා කෙරුවෙ ඊජිප්තු භාෂාව. ඒ හින්දා රජ පවුලයි සාමාන්‍ය මිනිස්සුයි අතර සදාකාලික දුරක් හැදුනා. දෙගොල්ලො කතා කරන දේවල් දෙගොල්ලන්ට තේරුනේ නෑ. රජ පවුලේ කිසිම කෙනෙක්ට උවමනා උනේ නෑ තමන් යටතේ පාලනය වන මිනිස්සුන්ගේ භාෂාව ඉගෙනගන්න. අද අපි ග්‍රීක් වගේ කියනවානෙ කියමනට. ඊජිප්තු වැසියන්ට රජ පවුලෙ හැම වචනයක් ම ග්‍රීක් වගේ තමයි. ඇත්ත ම ග්‍රීක්.

මුලු සම්මජ්ජාතියට ම ඊජිප්තු භාෂාව හදාරපු පළමු රාජකීයයා තමයි ක්ලියෝපැට්‍රා. අද වෙද්දි පළවන වාර්තාවලට අනුව ක්ලියෝපැට්‍රාට මොන විදියකට හෝ භාෂා 10ක් විතර මැනේජ් කරගන්න පුලුවන්. ඒ මොකුත් ඕනෑ නෑ. ඊජිප්තු වැසියන්ට අවුරුදු තුන්සිය පනහකට විතර පස්සෙ එයාලගේ භාෂාව කතා කරන රැජිනක් ලැබුනා. ඒ තමයි ක්ලියෝපැට්‍රා. ඒ දැනුම ලැබුනෙ මියුසස්ගෙන් බව එයා හිතන්න ඇති. ඒ හින්දා ක්ලියෝපැට්‍රා මියුසස්ට කැමති උනා.

මේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයේ තිබුනු පොත් සේරම තිබුනෙ රවුමට ඔතලා. මොකද ඒවා පැපිරස් කොල. චීන්නු කඩදාසි හොයාගත්තෙ ක්‍රිස්තු වර්ෂ 100 දි වගේ. මේ ඊට අවුරුදු 150කට වගේ කලින්. ඒ වෙද්දි ඊජිප්තුව අවුරුදු 2000 ක විතර ඉඳන් පැපිරස් කොල පාවිච්චි කරලා අකුරු ලිව්වා. මේ කොළ හරිම ඝනකමයි. කඩදාසි වගේ නෙවෙයි. හැබැයි ලියලා ඉවර වෙලා රවුමට වෙළලා පැත්තකින් තියන්න පුලුවන්. ප්ලාස්ටික් බටයක් ගානට. ක්ලියෝපැට්‍රා ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලෙ තිබුනු මේ බොහෝ පැපිරස් වෙළුම් කුඩා කාලයේ පටන් ම කියවන්න පටන් ගත්තා.

මේ අපි කතා කරන්නෙ අදින් අවුරුදු 2086කට කලින් දවසක් ගැන. ඒ වෙද්දි ලෝකෙ තව තව රටවල එක එක විදිහට අකුරු ලිව්වා. 

මේ වෙද්දි ලෝකෙ හිටපු හැම මනුස්සයෙක් ම අකුරු ලිව්වෙ නෑ. ලංකාවෙත් ප්‍රභූ පවුල්වල පිරිමි ළමයි, හාමුදුරුවරු වගේ අය විතරයි අකුරු ලිව්වෙ. කියෙව්වෙ. ඊජිප්තුවේත් සාමාන්‍ය මිනිස්සු අකුරු ලිව්වෙ නැතිම තරම්. රෝමයේ වගේ නම් සාමාන්‍ය පවුල්වල කාන්තාවන්, වහල්ලු වගේ අය අකුරු ලියනවා තියා පුරවැසියො විදිහට සැළකුවෙත් නෑ.

ක්ලියෝපැට්‍රා පුස්තකාල ශාලාව දිගේ ගිහින් ප්‍රතිමා පේලියක් ළඟ නැවතුනා. එයාගෙ උරහිස මට්ටමේ රැඳවුම් උඩ තිබුනා එක එක ප්‍රතිමා. හැම එකක් ම උඩුකය අඹාපු රූප. මුලින් තිබුනෙ සිනඩෝටස්ගෙ පිළිමය. සිනඩෝටස් කියන්නෙ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලෙ පළවෙනි පුස්තකාලයාධිපති. දැන් නම් එයා මැරුණු තැන්වල ගසුත් පැලවෙලා ඇති.

ක්ලියෝපැට්‍රා එයාව පහු කෙරුවා. ඊළඟට තිබුනෙ එරටොස්තිනීස්ගෙ ප්‍රතිමාව. මේක ටිකක් විශේෂ යි. එරටොස්තිනීසුත් මේකෙ හිටපු පුස්තකාලයාධිපති කෙනෙක්. හැබැයි විශේෂත්වය ඒක නෙවෙයි. එයා අදින් අවුරුදු 2100 කටත් කලින් පෘථිවියේ වට ප්‍රමාණය ගණනය කෙරුවා. දන්නවද එයාට ආපු පිළිතුර? පෘථිවියේ පරිධිය කිලෝ මීටර් 40,250ක් වගේ කියලා තමයි එයා ගණන් හැදුවෙ. අද වෙද්දි ඇත්ත පරිධිය වෙන්නෙත් කිලෝ මීටර් 40,096 යි. එරටොස්තිනීස් මේක මැන්නෙ කෝටු කෑල්ලකුයි ඉර එලියයි එක්ක ඔට්ටු වෙලා එයාගෙ ම සූත්‍රයක් හදාගෙන. කිලෝමීටර් 100ක වගේ පොඩි වෙනසයි තියෙන්නෙ. ඒ තරම් ආසන්න අගයක්.

ඒ හින්දා එරටොස්තිනීස් වගේ කිහිප දෙනෙක් ගැනත් මේ ලිපි මාලාවෙදි ඉදිරි කාලයේ කතා කරමු.

එරටොස්තිනීස්ටත් වඩා ගණිත, භාෂා, විද්‍යා දැනුම තිබුනු පුස්තකාලයාධිපතිවරු රාශියකගේ ප්‍රතිමා පහු කරගෙන ක්ලියෝපැට්‍රා ඉදිරියට ඇවිද්දා. ඉඳි කට්ටක් බිම වැටුනත් ඇහෙන තරම් නිස්සද්ද මහා ශාලාවකට එයා ආවා. හැම තැනම පැපිරස් පත්‍ර සුවඳ. සීතල පොළව. මේ තමයි එයා වැඩියෙන් ම ආශා කරපු ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයේ භාෂා අංශය.

පසු සටහන -

(මේ වෙද්දි ලංකාවෙ අකුරු ලිවීම්වල තත්ත්වය)

ටිකක් ලංකාවට එමු. ලංකාවෙ මේ වෙද්දි අකුරු ලිව්වෙ පුස්කොළපත්වල. ඒ ගැන තියෙන ඓතිහාසික ම සාක්ෂ්යය තමයි බුද්ධ වර්ෂ 454 දි ත්රිපිටකය ලංකාවෙදි පුස්කොළපත්වල ලිවීම. බටහිර ක්රමයට ගණන් හැදුවොත් මේ කියන්නෙ ක්රිස්තු පූර්ව 89 දි. මේ වැඩේට අවුරුදු කීපයක් ම ගියා.
ත්රිපිටකය ග්රන්ථාරූඪ කරා ය කියන්නෙ ඒකට.
 
ඔය බුද්ධ වර්ෂයි ක්රිස්තු වර්ෂයි පැටලැවිල්ල ටිකක් අමතක කරමුකො. ලංකාවෙදි ත්රිපිටකය පුස්කොලපතක ලිව්වෙ ක්ලියෝපැට්රා ඇලෙක්සැන්ඩ්රියා පුස්තකාලයේ ඇවිද ගියපු දවසට අවුරුදු 28කට වගේ කලින්. ත්රිපිටකය විතරක් නෙවෙයි, තව ගොඩක් දේ පුස්කොල පොත්වල ලිව්වා. දැනට ගණන් බලා තියෙන විදිහට පුස්කොලපොත් 75000 ක් විතර තියෙයි ලංකාවෙදි ලියාපු. ඒ සමහර ඒවා එංගලන්තයේ හියු නෙවිල් කලෙක්ෂන් එකේ සුරැකිව තියෙනවා. ලංකාවෙත් බොහෝ තැන්වල තියෙනවා.
 
ඒ වෙද්දි රෝමය පාලනය කරපු කොන්සල්වරයා තමයි පොම්පෙයි ස්ට්රාබෝ. මෙයා අපි කලින් කතා කරපු පොම්පෙයිගෙ තාත්තා. මේ කාලෙ ලංකාව පාලනය කෙරුවෙ වළගම්බා රජතුමා. වළගම්බාගෙ පාලන කාලය ගැන නම් මෙහෙම කෙටි සටහනක් දාලා වැඩක් නෑ. බොහොම දිග සිද්ධි ප්රමාණයක් උනා එයාගෙ පාලන කාලෙදි.
 

 

 

සටහන: නුවන් ඉෂාර මහගමගේ 

(මෙම සටහන 'Nuwan Ishara Mahagamage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

 

 

නුවන් ඉෂාර මහගමගේ විසින් රචිත තවත් ලිපි කියවන්න පහතින්.

“ලේ විසිවුනා. සෙනෙට් සභිකයො රංචුවක් ම සීසර්ව වටකරගත්තා..” (පළමු කොටස)>>

 

“සීසර්ගෙ මරණයෙන් රෝමය කැළඹුණා. මාක් ඇන්තනී රෝමය බාරගත්තා..” (දෙවන කොටස)

 

"මොනාලිසා චිත්‍රය හොරකම් කරන වැඩේට තුන් දෙනෙක් හවුල් උනා. ඒ 1911 නිකිණි මාසෙ දවසක්.."

kemadasa

shungara

Back to top
Go to bottom