-Rashmika Mandawala-
1926 දෙසැම්බර් මාසයේ ස්විස්ටර්ලන්තයේ ඇල්ප්ස් හි සනීපාරක්ෂකාගාරයක විසිවෙනි සියවසේ බිහිවුණ විශිෂ්ටතම කවියෙක් මරණ මංචකයේ සැතපී හිටියා.
රයිනර් මරියා රිල්ක ට වයස අවුරුදු පනස් එකයි.
ලියුකේමියාව වසර ගණනාවක් තිස්සේ ඔහුව නිහඩව විනාශ කරමින් තිබුණා. ඒත් මිනිස්සු කියන කතාවක් තියෙනවා. අමුත්තෙකුට රෝස මල් එකතු කරද්දි අතේ ඇනුණ කටුවකින් ඇතිවුණ තුවාලය සුවවීම ප්‍රතික්ෂේප කළා. එය පැසවමින් පැතිර ගියා.
කුඩාම නිමේෂයකදී පවා ජීවිතයේ සුන්දරත්වය සොයමින් කාලය ගත කළ මිනිසෙකු රෝස මලක් නිසා අහිමි වීම දරාගන්න බැරි තරම් කාව්‍යාත්මක දෙයක් බව පෙනුණා.
ඒත් මරණය පැමිණෙද්දී පවා රිල්කගේ මනස පැහැදිලිව තිබුණා.
ඔහු දශක ගණනාවක් යුරෝපය පුරා ඇවිදිමින් කුළියට ගත් කාමරවල, මාළිගවල සහ පූජක ආරාමවල ජීවත් වුණා. ඔහුට කිසිදාක ස්ථිර නිවසක් තිබුණෙ නැහැ. ස්ථිර ආදායමක් තිබුණෙ නැහැ. සාම්ප්‍රදායික ජීවිතයක් තිබුණෙ නැහැ.
ඔහු සතුව තිබුණේ වචන විතරයි.
අවුරුදු ගාණකට කලින් හමුදා කැඩෙට්වරයෙකු වුණ 19 හැවිරිදි ෆ්‍රාන්ස් කැෆස් ඔහුගේ අනාගතයේ අස්ථිර බව, ඔහුගේ කැඳවීම, වටිනාකම ගැන අවිනිශ්චිත බවකින් රිල්කට ලිපි ලිවුවා. තරුණයා රාජකාරිය සහ සිහින අතර හිරවෙලා ආරක්ෂාකාරී මාවතක් වෙනුවෙන් සිය කවීත්වය අතහරිනවාද යන්න ගැන කල්පනා කරමින් හිටියා.
රිල්කට ඒ ලිපිය නොසලකා හරින්න තිබුණා. ඔහු ඒ වනවිටත් ජනප්‍රිය කවියෙක් වගේම තමන්ගේම අර්බුධ සහ අඳුරු බව සමඟ කාර්යයබහුලව හිටියා.
ඒ වෙනුවට ඔහු පිළිතුරු ලිවුවා.
ඊළඟට ඔහු නැවත ලිවුවා. නැවතත් ලිවුවා.
අවුරුදු හයක් පුරාවට ඔහු බොහොම මෘදු, අවංක, ගැඹුරු ලිපි දහයක් යැවුවා. මේ ලිපි පසුව ‘තරුණ කවියෙකු වෙත’ බවට පත්වුණා. ඒ පොත නිර්මාණශීලිත්වය, තනිකම සහ ඔබේ මාර්ගය සොයා ගැනීම පිළිබඳ මෙතෙක් ලියා ඇති වඩාත්ම ආදරණීය පොත් වලින් එකක්.
“ඔබේ හදවත තුළ ඇති නොවිසඳුණු සියල්ල කෙරෙහි ඉවසිලිවන්ත වෙන්න,” ඔහු ලිවුවා. “අගුළුදමා ඇති කාමරයකට, විදෙස් බසකින් ලියා ඇති පොතකට මෙන් ප්‍රශ්නවලට ආදරය කරන්න උත්සාහ කරන්න.”

ඔහු තරුණ කවියාට මෙහෙම කිවුවා. ඔයා ප්‍රමාණවත්ද කියලා අනෙක් අයගෙන් අහන්න එපා. ලිවීම නැතුව ඔයා මැරෙයිද කියලා ඔයාගෙන්ම අහන්න. ඔබේ රාත්‍රියේ නිශ්චලම හෝරාවේ ඔබේ හදවතේ පතුලටම කනින්න, පිළිතුර “මම ලිවිය යුතුයි” නම්, ඔබේ මුළු ජීවිතයම ඒ අවශ්‍යතාවය වටේ ගොඩනගන්න.
නමුත් රිල්ක කලාවේ කැඳවීමට වඩා ගැඹුරු දෙයක් තේරුම් ගත්තා.
ඔහු තනිකම තේරුම් ගත්තා. වර්ධනය සිදුවන්නේ නිහඬතාවයෙන් බව ඔහු තේරුම් ගත්තා. ඒ පරිවර්තනයට අවශ්‍ය වන්නේ එයින් පලා යාමට වඩා ඔබ අපහසුතාවයෙන් වාඩි වී සිටීම බව වටහා ගත්තා.
"අවසාන මොහොතේ කුමාරිකාවන් බවට පත්වන මකරුන් පිළිබඳ පුරාණ මිථ්‍යාවන් අපට අමතක කළ හැක්කේ කෙසේද?" ඔහු ලිවුවා. "සමහර විට අපේ ජීවිතයේ සිටින සියලුම මකරුන් අපි එක් වරක් පමණක් සුන්දරත්වයෙන් හා ධෛර්යයෙන් ක්‍රියා කරනවා දැකීමට බලා සිටින කුමාරිකාවන් විය හැකියි. සමහර විට අපව බිය ගන්වන සෑම දෙයක්ම, එහි ගැඹුරුම සාරය තුළ, අපගේ ආදරය අවශ්‍ය අසරණ දෙයක් විය හැකියි."
රයිනර් මරියා රිල්කගේ (Rainer Maria Rilke) ඡායාරූපයක් (1902)
පළමුවන ලෝක සංග්‍රාමයේ අවුල් සහගත තත්ත්වය තුළ දශකයකට වැඩි කාලයක් කොටස් වශයෙන් ලියන ලද ඔහුගේ කලා කෘතිය වන දුයිනෝ එලිජීස් හි, ඔහු මානව වර්ගයා මුහුණ දෙන විශාලතම ප්‍රශ්න සමඟ පොර බැදුවා. ඇයි අපි වේදනා විඳින්නේ? අපි කොහොමද ආදරය කරන්නේ? සියල්ලම කඩා වැටෙන විට ඉතිරිව ඇත්තේ කුමක්ද?
ඔහු අපට පහසු සැනසීමක් දුන්නේ නැහැ. ඔහු සත්‍යය ඉදිරිපත් කළා.
1926 දෙසැම්බර් 29 වෙනිදා රිල්ක අවසන් හුස්ම හෙළුවා.
ඔහු මියගියේ සිය වෛද්‍යවරයාගේ ධෑත් මත දෑස් විවර කරගෙනමයි.
අද, සියවසකට ආසන්න කාලයකට පසුවත්, මිලියන ගණනක් තවමත් තමන්ට යමක් අහිමි වූ බවක් දැනෙන විට, හුදෙකලාව හිඳීමට ඔවුන් බියවූ විට රිල්ක වෙත හැරෙනවා. ඝෝෂාකාරී ලෝකයක ඔවුන්ගේ නිහඬ, අභ්‍යන්තර කටයුතු වැදගත් දැයි ඔවුන් කල්පනා කරන විට ඔවුන් රිල්ක වෙත හැරෙනවා.
ඔහුගේ ලිපි අපට මතක් කර දෙන්නේ පරිවර්තනය ක්ෂණික නොවන බවයි. හුදෙකලාව යනු තනිකම නොවෙන බවයි. අප තුළ ඇති ප්‍රශ්න බොහෝවිට අප හඹාගෙන යන පිළිතුරු වලට වඩා වැදගත් බවයි.
1907 නව වසර එළැඹෙන දිනයේදී රිල්ක සිය ඉතාලි නිවසේ වහලයට නැග නව වසර එළඹෙන හැටි බලා සිට සිය බිරිඳට මෙසේ ලිවුවා.
“දැන් අපට ලබාදී ඇති නව, ස්පර්ශ නොකළ, කිසිදාක නොතිබුණ දේවල්වලින් පිරුණු නව දිගු වසර විශ්වාස කරන්න ඉඩදෙන්න.”
ඒ තමයි රිල්ක: නිහඬ හඬ, ඉවසිලිවන්ත හදවත සහ ගැඹුරින් දැනීමට ඇති ධෛර්යය සියල්ලටම වඩා විප්ලවීය ක්‍රියාවන් බව අපට ඉගැන්වූ මිනිසා.
මේ ඔහුගේ Evening කවියේ කොටසක දළ සිංහල පරිවර්තනයක්
සන්ධ්‍යාව
අහස පළඳියි අඳුරුවන ඝන නිල් කබාය
පෞරාණික ගස් පේළියකින් රඳවාගෙන සිටිය
ඔබ නරඹයි: ඔබේ ඇස් පනාපිට භූමිය ඈතට වැඩෙයි
එකක් ස්වර්ගය වෙත ගමන් කරයි, අනෙක වැටෙයි;
ඔබව හැර යයි, ඒ එකම මගකවත් ඔබට නිවසක් හමු නොවෙයි,
අඳුරු නිවෙස් මෙන් නිශ්චල සහ අඳුරු නොවී,
හැම රාත්‍රියකම තරුවක් වී ඉහළට නගිනා ආසාවෙන්
සදාකාලිකත්වයට කැඳවන්නේ නැත ඔබව.

Unusual Stories ඇසුරින් නැවත ලිවීම
රශ්මික මණ්ඩාවල
(මෙම සටහන 'Rashmika Mandawala' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)












