මෙරට ප්‍රකට භරත නාට්‍ය ශිල්පිණියක, නර්තනාචාර්යවරියක මෙන්ම ශාස්ත්‍රීය ලේඛිකාවකද වන ප්‍රීති ගනේගොඩ විසින් සම්භාව්‍ය ඉන්දියානු නර්තනය සහ කර්ණාටක සංගීතය පිළිබඳව රචිත ‘තෞර්යත්‍රිකම්’ නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය පසුගියදා (20) එළි දැක්වුණා.
ඒ, කොළඹ 07 ‘ලයිට් හවුස් ශ්‍රවණාගාරයේදීයි.
එදින, උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දීය සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකවරයා වන මහාචාර්ය අන්කූරන් දත්තා සහභාගී වන අතර, මුඛ්‍ය දේශනය මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර විසින්ද නර්තන සංවාදය මහාචාර්ය මුදියන්සේ දිසානායක, කලාකීර්ති අචාර්ය රවිබන්දු විද්‍යාපති, නෘත්‍ය විශාරද වෙරෝනිකා දසනායක විසින්ද පවත්වනු ලැබුවා.
ප්‍රීති ගනේගොඩ ශ්‍රී ලංකාවේදීත්, භාරතයේදීත් භරත නාට්‍ය ශිල්ප හදාරා වසර ගණනාවක් නර්තන ආචාර්ය වරියක ලෙස කටයුතු කළ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම භරත නාට්‍ය මුද්‍රා නාට්‍ය වන ‘ප්‍රේම පූජා’ මුද්‍රා නාට්‍ය ඇය විසින් නිර්මාණය කොට වේදිකා ගත කළ අතර ඊට අමතරව පැවැත්වූ නර්තන ප්‍රසංග කිහිපයක්ම ප්‍රේක්ෂකයන්ගේ මහත් ප්‍රසාදය දිනා ගන්නා ලදී.
2003 වසරේදී ප්‍රීති ගනේගොඩ විසින් ‘ඉන්දීය නර්තන ලාලිත්‍ය’ නමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් රචනා කළ අතර එම කෘතිය මගින් ඉන්දීය නර්තනය හදාරණ විද්‍යාර්ථයින්ට සෛද්ධාන්තික තොරතුරු සිංහල බසින් හදාරන්නට අවස්ථාව උදා විය.
මෙවර එළිදැක්වුණු ‘තෞර්යත්‍රිකම්’ ග්‍රන්ථයේ භාරතීය හස්තපාදාදිසංචාලන හා කර්ණාටක සංගීත සිද්ධාන්ත අන්තර්ගතය වනවා. නර්ථනය හදාරන විද්‍යාර්ථයින්ට විෂය උගන්වන ගුරු භවතුන්ට ද එහි අන්තර්ගත දුලබ තොරතුරු බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
ශ්‍රී ලාංකේය සිසුන් බහුල වශයෙන් හදාරණ භරත නාට්‍යම්, කථක්, කථකලී අනෙකුත් ශාස්ත්‍රීය හා ජන නැටුම් ද ‘ කර්ණාටක’ සංගීත ප්‍රවේණිය සිද්ධාන්ත ද ‘තෞර්යත්‍රිකම්’ ග්‍රන්ථයෙහි අන්තර්ගත වන අතර සිංහල භාෂාවෙන් මෙවන් විස්තරාත්මක ග්‍රන්ථයක් ලියැවුණු ප්‍රථම අවස්ථාව මෙයයි.
‘තෞර්යත්‍රිකම්’ ග්‍රන්ථය දැන් 'ත්‍රිස' ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇති අතර (077 – 3435400) යන දුරකථන අංකය ඇමතීමෙන් ග්‍රන්ථය ඇනවුම් කළ හැකියි.
මතු දැක්වෙන්නේ පසුගියදා කොළඹ ‘ලයිට් හවුස් ශ්‍රවණාගාරයේදී පැවැති ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාවේ විශේෂ අවස්ථා කිහිපයක්.
https://www.mirrorarts.lk/events/11699-2025-09-24-14-58-02#sigProId6be7522d73
















